Thursday, March 28, 2024

General line - 0115112241

නයිජීරියාවේදී ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් අනතුරකට ලක්ව පිපිරී යයි




මධ්‍යම නයිජීරියාවේදී ඉන්ධන ප‍්‍රවාහනය කරමින් සිටි බවුසරයක් අනතුරට ලක්ව පිපිරී යාමෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට කෝගි ප‍්‍රාන්තයේ ලොකෝජා - අබූජා අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ එම ඉන්ධන බවුසරය, එහි රියදුරුගේ පාලනයෙන් ගිලිහී මෝටර් රථ 05 ක, ත‍්‍රීරෝද රථ 03 ක සහ යතුරු පැදි 02 ක ගැටී පෙරලී ගොස් ගිනි ගැනීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පිරිස අතරට පාසල් සිසුන් කිහිප දෙනෙකු ද ඇතුළත්. තවත් බොහෝ පිරිසක්, අනතුර හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප‍්‍රකාශ කරමින් නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි පවසා ඇත්තේ, අනවශ්‍ය මරණවලට හේතු වන නයිජීරියාවේ මෙවැනි ඛේදවාචක සම්බන්ධයෙන් තමන් අතිශය කණස්සල්ලට පත් වන බවයි.

නයිජීරියාවේ මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම සහ මාර්ග ආරක්ෂක ප‍්‍රමිතීන් ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් එරට තුළ නිරතුරුවම මෙවැනි අනතුරු වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.