Thursday, March 28, 2024

General line - 0115112241

පෙත්සම් විභාගයකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ඉවත් වෙයි

අධිකරණ වාර්තාකරු




මිරුසුවිල්හි සමූල ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ යුධ හමුදා සාජන්  සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබා දීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන අද (24) දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළව අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට තමා සහභාගි වූ බැවින් මෙම මූලික අයිතිවාසිකම්  පෙත්සම් විභාග කිරීමෙන් වැළැකී සිටින බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන එහිදී පවසා සිටියා.

ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන වසරේ පෙබරවාරි මස 08 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දෙන ලදි.

2000 දී මිරුසුවිල්හිදී දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සුනිල් රත්නායකට 2015 ජුනි මාසයේදී මරණ දඩුවම නියම කරන ලදි.

කෙසේවෙතත් ඔහුට පසුව ජනාධිපති සමාව හිමිවූ අතර එම තීරණය අභියෝගයට ලක් කරමින්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකාවක් වන අම්බිකා සත්කුනනාදන් ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා.

මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙසට නීතිපතිවරයා, රත්නායක මුදියන්සෙලාගේ සුනිල් රත්නායක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා,  අධිකරණ අමාත්‍යවරයා, ජනාධිපති ලේකම් සහ අපරාධ වින්දිතයින්ගේ සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු පාර්ශ්වයන් වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.