Thursday, April 25, 2024

General line - 0115112241

ආරච්චිකට්ටුව හිටපු උප සභාපතිට අධිකරණය ලබා දුන් නියෝගය




රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත ඇප මත මුදා හරින ලෙස හලාවත දිසා අධිකරණය අද නියෝග කළා. 

ආනවිලූන්දාව රම්සා අභය භූමියට අයත් කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරු, රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප 02 ක් මත මුදා හරින ලෙසයි හලාවත දිසා විනිසුරු අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කළේ. 

හිටපු සභාපතිවරයාට ආනවිලූන්දාව රක්ෂිතයට ඇතුළු නොවන ලෙසටත්, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් විනිසුරුවරයා විසින් එහිදී නියෝගයක් නිකුත් කළා. ඊට අමතරව සෑම මසකම අවසන් ඉරිදා දිනයේ ආරච්චිකට්ටුව පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසයි එහිදී නියෝග කෙරුණේ.

ඉස්සන් පොකුණක් සකස් කිරීම සඳහා ආනවිළුන්දාව රම්සා අභය භූමිය ඩෝසර් කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 22 වනදායි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 26 වනදා වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ති‍්‍රක් සහකාර අධ්‍යක්ෂවරයා විසින් ආරච්චිකට්ටුව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. 

එම පැමිණිල්ලට අදාළව ඉස්සන් පොකුණ සකස් කිරීම ස`දහා අදාළ ඉඩම ඩෝසර් කළ ඩෝසර් යන්ත‍්‍ර කි‍්‍රයාකරු සහ ඊට අනුබල දුන් ව්‍යාපාරිකයෙකු ඉකුත් 27 වනදා අත්අඩංගුවට ගෙන හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

එම සැකකරුවන් දෙදෙනා ඉකුත් 19 වනදා මුදා හැරීමට අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂ 100 බැගින් වූ පුද්ගල ඇප මතයි.