Tuesday, April 23, 2024

General line - 0115112241

රටේ මුදල් පිටරට පටවන මල් ආනයනය නැවතීමටත් නව රජයෙන් තීරණයක්




මෙරට වගා කළ හැකි මල් වර්ග ආනයනය ඉදිරියේදී සීමා කිරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

මල් වගාකරුවන් දිරිමත් කර, මෙරට වගා කළ හැකි වැඩි ඉල්ලූමක් සහිත මල් වර්ග වැඩි වශයෙන් වගා කිරීමට ඔවුන් පෙළඹවීමට කටයුතු කරන බවයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ. ගම්පහ  ප‍්‍රදේශයේ පැවැති ‘‘සියනෑ මල් වසන්තය 2020’’ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා. 

සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි එහිදී වැඩිදුරටත් පැවසුවේ මල් අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා රජය සූදානම් බවයි. එසේම සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය යටතට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යොමු කිරීම හේතුවෙන් වගාකරුවන්ට වාසි රැුසක් අත්වන බව ද ලේකම්වරයා සඳහන් කළා. 2016 වසරේදී මෙරටට ආනයනය කර ඇති මල්වර්ග වල වටිනාකම අමෙරිකානු ඩොලර් 65,000 ක්. 

කෙසේවෙතත්, මෙරටට වැඩි වශයෙන් මල් ආනයනය කෙරෙන්නේ ඉන්දියාවෙන් බවත්, එලෙස ඉන්දියාවෙන් ගෙන්වන මල් වලින් වැඩි කොටසක් පිච්ච මල් බවත්, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පෙන්වා දෙනවා. 

ඉදිරි වසර කිහිපය තුළ මල් අපනයනයෙන් හිමිවන ආදායම අමෙරිකානු ඩොලර් දස ලක්ෂය දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ. ඒ වෙනුවෙන් මල් වගාකරුවන් සඳහා තාක්ෂණික පුහුණුව ලබාදීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 
ඊට අමතරව ඔවුන්ට අවශ්‍ය මල් පැළවර්ග හා සෙසු ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා රුපියල් මිලියන 23 ක මුදලක් වෙන් කර ඇති බවත්, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.