Friday, March 29, 2024

General line - 0115112241

සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යි




මෙරට කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් දිනා අදට වසර 20ක් සපිරෙනවා. 

ඇය මෙලෙස ඔලිම්පික් පදක්කමක් දිනා දුන්නේ 2000 වසරේ සිඞ්නි හි පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදීයී. එහිදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. කෙසේවෙතත් එහි රන් පදක්කම හිමි වූ අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූරී මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීමත් සමඟ ඇයට එම පදක්කම අහිමි වුණා. 

ඒ අනුව එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් බහමාස් හි ඬේවිස් තොම්සන් හට 2000 වසරේ පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උලෙලේ මීටර් 200 ඉසව්වේ රන් පදක්කම ලබා දුන්නා. ඒ අනුව එම ඉසව්වේ රිදී පදක්කම හිමිවූයේ ශ‍්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහටයි. 

1948 වසරේ ලන්ඩන්හි පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඔලිම්පික් රිදී පදක්කම දිනා ගත්තා. ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ ශ‍්‍රී ලංකාවට හිමි වූ දෙවන රිදී පදක්කම ලෙස සුසන්තිකා දිනූ පදක්කම සැලකෙන අතර මෙරට ක‍්‍රීඩිකාවක් දිනූ පළමු ඔලිම්පික් පදක්කම ද එයයි.

ගතවූ වසර 20 තුල ශ‍්‍රී ලංකාව ඔලිම්පික් ක‍්‍රීඩා උලෙල රැසක් නියෝජනය කලද මෙතෙක් කිසිදු පදක්කමක් දිනා ගැනීමට හැකි වී නැහැ.