Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්ධන නෞකාවේ කපිතාන්වරයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් 

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ලංකාවට ආසන්න නැගෙනහිර  මුහුදු තීරයේ බොර තෙල් රැගෙන යමින් සිටියදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා .නැවේ කපිතන් හිරෝස් ඉල්යාස් නැමැති සැකකරු අද නොතීසි මත අධිකරණයේ පෙනී සිටියා.

සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන හෙයින් ඔහු යළි අධිකරණයට ගෙන්වාගැනීම තහවුරු කිරීම අවශ්‍ය බැවින්  ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

කෙසේවෙතත් එම ඉල්ලීමට අවසර ලබා නොදුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ විදේශ ගමන් තහනම් කොට පරීක්ෂණ වලට සහය දෙන ලෙසට නියෝග කරන ලදී. සැකකරුගේ පදිංචි ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම නෞකාවෙන් කාන්දු වු ඛනිජ තෙල් මීටර් දෙකක ඝනකමකින් සහ මීටර් 400 ක පළලකින් යුත් තට්ටුවක් වශයෙන් අදාළ මුහුදු  ප්‍රදේශයේ නිරීක්ෂණය කළ හැකි බව දිලීප පීරිස් මහතා පවසා සිටියා. තෙල් කාන්දුව හේතුවෙන්ව නැව ගිනි ගත් ස්ථානයේ සිට මුහුදු සැතපුම් දෙකක් දක්වා ප්‍රදේශයක මුහුදු ජලය දූෂණයට ලක්වී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙම නැව කුවේට් සිට ඉන්දියාව දක්වා බොර තෙල් ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේ ගිනි ගැනීමට ලක්වූ බවටත් මෙම සමාගමට එක් වීමෙන් පසුව යෙදුණු මංගල ගමන මෙය බවටත් කපිතාන්වරයා ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇති බව දිලීප පීරිස් මහතා පවසා සිටියා.නෞකාවේ ගින්න මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 340 ක මුදලක් අයකර ගැනීමට අවශ්‍ය බවත් ඒ බව එම නැව් සමාගමට දැනුම් දී ඇති බව දිලීප පීරිස් මහතා පවසා සිටියා.

යම් හෙයකින් මෙම නෞකාව දැනට පවතින ස්ථානයෙන් ඉවත් කරගන්නේ නම් ඇමරිකානු ඩොලර් මිලියන170 ක බැඳුම්කරයක් තැන්පත් කර එම නෞකාව එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙසට අදාළ නැව් සමාගමට දන්වා ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. 

මෙම කපිතාන්වරයා මේ වන විට ගාල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින බවත්  ඔහුගේ  නිරෝධායන කටයුතු මේ මස 24 වනදා අවසන් වීමට නියමිත බවත් පීරිස් මහතා පවසා සිටියා.