Friday, March 29, 2024

General line - 0115112241

විස්සට එරෙහිව පෙත්සම් 39 ක් - මැතිවරණ කොමිසමේ හූල්ගෙනුත් පෙත්සමක්




රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද දිනයේ තවත් පෙත්සම් 21ක් ගොනු කෙරුණා. ඒ අනුව අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මුලු පෙත්සම් ගණන 39ක්.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ද අද දිනයේ විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු කර තිබුණා. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක, සිරිලක ජනතා පෙරමුණ වෙනුවෙන් නීතිඥ පී. ලියනාරච්චි සෙසු පෙත්සම් ගොනු කල පිරිසට අයත්. 

නීතිඥවරුන් සහ නීතිඥවරියන් 20 දෙනෙකුද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විශේෂ පෙත්සමක් ගොනු කළා. මෙම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට හැකියාව ඇති බවත් ඒ තුලින් ජනතාවට එම පනත් කෙටුම්පත් අධිකරණයේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව අහිමි වන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
සියලු මෙම පෙත්සම් හෙට දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි. 

මේ අතර යෝජිත 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යයනය කර පක්ෂය වෙත නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කළ කමිටුවේ සාමාජිකයින් අද නම් කළා. ඊට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත්. එහි සභාපති වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වායි. 

මෙම කමිටුවේ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව පක්ෂයේ අදහස් හා යෝජනා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති කමිටුව වෙත ඉදිරියේ දී භාර දෙනු ඇති.