Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම නිසා යුරෝපයේ රටවල් රැසක් දැඩි තීරණ ගනියි (PHOTOS)




යුරෝපයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල මැඩලීම සඳහා අද සිට බලපැවැත් වෙන පරිදි ප්‍රංශයේ ප්‍රධාන අගනුවර වන පැරිසිය ඇතුළු ප්‍රධාන නගර 08ක් සඳහා රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපති එම්මානුවෙල් මාර්කොන් තීරණය කොට තිබෙනවා.

ඒ අනුව පැරිසිය, ලිලී, ලියොන්, ග්‍රේනෝබ්ලේ ඇතුළු ප්‍රධාන නගර 08ක් සඳහා අද රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවා ඇත. ඒ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා බවයි ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියේ.

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ අධි අවධානම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට නව සිමා පැනවීමට පියවර ගන්නා බව එරට සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව හෙට රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි දෙවන අදියරේ සීමාවන් පැනවීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. මීට අමතරව බ්‍රිතාන්‍යයේ එසෙක්ස්, මැන්චෙස්ටර්, ලැන්ශ්‍රයර් ප්‍රාන්ත සඳහා තෙවන අදියරේ සීමාවන් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ගතවූ පැය 24 ක කාලය තුලදී ඉතාලියෙන් කොරෝනා ආසාදිත රෝගීන් 7,332ක් වාර්තා වී ඇත. එය මෑත කාල වකවානුවේදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය වනවා.

මේ අතර ස්පාඤ්ඤයේ, කැටලෝනියා හි පිහිටි පාසල්, බාර්, ආපනශාලා අද දින සිට වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ලබන මාසයේ මැද භාගය වන විට සිය රටේ පවතින දැඩි සත්කාර ඒකක වල ධාරිතාව ඉක්මවා යනු ඇති බවට බෙල්ජියම අනතුරු අඟවා සිටිනවා.