Friday, March 29, 2024

General line - 0115112241

 මත්ස්‍ය කර්මාන්තය පවත්වාගෙන යාමට ධීවර වරායන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ




දැනට පවතින කොවිඩ් - 19 උවදුර හේතුවෙන් ගැටලුවකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තයක් වන ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාමට අවශ්‍ය ධීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය බලධාරීන්ට උප‍ෙදස් ලබාදී තිබෙනවා.

ධීවර කාර්මිකයින්ට හා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් යුතුව සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි සහ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් අද (24) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදී දිවයින පුරා ධීවර වරායන් 20 ක් තිබෙන බව හෙළිවිය. මේ වන විට ඉන් පෑලියගොඩ තොග මතස්‍ය වෙළඳ සැළ සමග ඍජුව සබඳතා පැවැත්වූ ගාල්ල, බේරුවල සහ වාලච්චේන යන ධීවර වරායන් වසා දමා ඇත.

ඉන් බේරුවල ධීවර වරාය තුළ මතස්‍යයින් ගොඩබෑමට බහුදින යාත්‍රා 32 ක් සහ ගාල්ල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 21 ක් තිබෙන අතර මෙම යාත්‍රා තුළ මාළු කිලෝ 350,000 ක් (තුන් ලක්ෂ පණස්දහසක්) තිබෙන බව ධීවර අමාත්‍යංශ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරියට පවසන ලදී. එබැවින් බහුදින යාත්‍රා තුළ තිබෙන මෙම මාළු තොග පාරිභෝගිකයා අතට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට සැලසුමක් කඩිනමින් සකස් කිරීමටමෙම සාකච්ඡාවේ දී තීරණය විය.

ඒ අනුව අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය බලධාරීන් විසින් සකසා අද දින ධීවර අමාත්‍යාංශය හරහා ධීවර වරායන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙසට පවිත්‍රා වන්නිආරච්චි විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහට උපදෙස් ලබාදී ඇත්තේ.