Friday, March 29, 2024

General line - 0115112241

ඩයලොග් ආසිආටා හෝමාගම මූලික රෝහලට තිළිණ කළ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කරයි




ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්),සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය හැඳින්විය හැකිය.

2020 අප්‍රේල් මාසයේදී කොවිඩ් 19 පිටුදැකීම වෙනුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට රු. ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමට ඩයලොග් සමාගම එකඟතාවය පළ කරන ලදී.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා විසින් සිදුකරන ලද මෙම සුවිශේෂී පරිත්‍යාගයේ පළමු අදියර යටතේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇඳන් 10 කින් යුත් නවීන පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ලබාදීමට හැකි විය. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ වේගවත් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පහසුකම් සපයමින් එකී පරීක්‍ෂණ සහ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2.5 ක් දක්වා අඩුකරගැනීමට අවස්ථාව සලසන ලදී.

හෝමාගම මූලික රෝහලේ පූර්ණ ක්‍රියාකාරීත්වයකින් යුත් දැඩි සත්කාර ඒකකය විශේෂයෙන්ම කොරෝනා වෛරසය වැනි බෝවන රෝගවලට අවශ්‍ය ප්‍රතිකාර කාර්යක්ෂමව සිදුකිරීමට හැකිවන පරිදි අඩු පීඩන කලාපයක් තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික පහසුකම්වලින් සමන්විත අතර, එහි අංග සම්පූර්ණ අති නවීන දැඩි සත්කාර පහසුකම් තුළින්, අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඉහළ නැංවීමට සමත් වෙයි. මෙම සත්කාර්යය හරහා බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පීඩනය අවම කිරීමටත්, දැඩි සත්කාර ඒකකවල වෛද්‍යවරුන්ගේ පුහුණුවට සුවිශේෂී වටිනාකමක් එක් කරමින් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමත් අරමුණු කරයි.

මෙම සත්කාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මෙසේ පැවසුවාය. “ඩයලොග් ආසිආටා සමාගම මේ රටේ සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙන මානුෂීය හදවතක් තිබෙන සමාගමක්. ලංකාවේ කොවිඩ් 19 රෝගීන් හමුවීමට පටන් ගත් අවස්ථාවේ අප විසින් කළ ඉල්ලීමකට අනුව ඩයලොග් ආසිආටා  සමාගම සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට රු. ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමට එකඟතාවය පළ කළා. මෙම සුවිශේෂී පරිත්‍යාගයේ පළමු අදියර යටතේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇඳන් 10 කින් යුත් නවීන පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ලබා දුන් අතර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ වේගවත් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පරීක්ෂණාගාරයක් ඉදිකළා. අද හෝමාගම රෝහලට ඇඳන් 10 කින් යුතු දැඩි සත්කාර ඒකකයක් ලබාදීම අපි කාගේත් ප්‍රශංසාවට පත්විය යුතු කාරණයක්. අපි ස්තුතිවන්ත  වෙනවා ඩයලොග් සමාගම මේ රටේ ජනතාව වෙනුවෙන් මේ කරන ලද කැපකිරීම සහ දායකත්වය සම්බන්ධයෙන්."

ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාද අදහස් දක්වන ලදී. “ඉතා විශාල ජනතාවකට සේවය සලසන හෝමගම රෝහලට දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණු අඩුපාඩුවක් තමයි දැඩි සත්කාර ඒකකයක් නොමැතිවීම. අති නවීන පහසුකම් හා උපකරණ සහිතව හෝමගම රෝහලට  මෙවැනි දැඩි සත්කාර ඒකකයක්  ලබාදීම සම්බන්ධයෙන් ඩයලොග් සමාගමට අපේ රජයේ ගෞරවය, ස්තුතිය පළ කරන්න කැමතීයි.”

මේ සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මෙලෙස අදහස් දැක්වීය. “අවිනිශ්චිත කාලසීමා හමුවේ ගෙවුණු වසරක් තුළ, හෝමාගම මූලික රෝහලේ ඇඳන් 10 කින් සමන්විත පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ස්ථාපිත කරමින්, කොවිඩ් 19 පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික පරිශ්‍රමයේ තවත් අදියරකට සහායවීම සඳහා අපට අවස්ථාව ලබාදීම අපි බෙහෙවින් අගය කරනවා. මෙම සත්කාර්යය තුළින් මහජනයාගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවයන්ට ජාතික මට්ටමින් විසඳුම් ලබාදීමේ හැකියාව තවත් ශක්තිමත් වෙනවා. අප කෙරෙහි විශ්වාසය තබමින් අපට ශක්තියක් වුණු අපගේ පාරිභෝගිකයන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.”