Friday, March 29, 2024

General line - 0115112241

මගේ ව්‍යාපාරය දියුණු කරගන්න මම පාන්දර එක දෙක වෙනකල් ලොරිත් එලවලා තියෙනවා.අවුරුදු 26 දී මම දරුවෝ දෙන්නත් එක්ක තනිවුනා – “Golden Star” සභාපතිනියගේ කතාව




මම විවාහ ජීවිතයේ හැල හැප්පීම් එක්ක දරුවො දෙන්නත් එක්ක තනිවෙනකොට අවුරුදු 26 යි..එතකොට මම සාමාන්‍ය ගැහැණියක්..ඒත් අද මම මගේම කියලා ව්‍යාපාරයක අයිතිකාරියක් "

මේ දිරිය කාන්තාව නාමලී වික්‍රම මහත්මිය. කාගිල්ස්,කීල්ස්,ආර්පිකෝ වැනි සුපිරි වෙළඳ සැල් වලට යන ඔබ අනිවාර්යයෙන්ම ඇයගේ නිෂ්පාදනයන් ජීවිතයේ එක් වරක් හෝ මිලට ගන්නට ඇති. ග්‍රීන් පීස්,ගාර්ලික් බටර්,පීනට් බටර්,චොක්ලට් පීනට් බටර්,චොක්ලට් බේස් ඩෙසර්ට්ස් සජ සෝයා බීන්ස් වැනි නිෂ්පාදන රැසක්ම වෙළඳ පොලට එන්නේ ඇගේ කැපවීමෙන් බිහිවුනු "ගෝල්ඩන් ස්ටාර් "ව්‍යාපාරය යටතේ. මේ සමහර නිෂ්පාදනවල 90% ක් වගේම ,ඇතැම් නිෂ්පාදනවල 100% කම වෙළඳ පොල හිමිකාරත්වයට හිමිකම් කියන්නේ ඇයයි. ඇය ව්‍යාපාර ලෝකයට එන්නේ 2001 අවුරුද්දෙදි.සාමාන්‍යයෙන් ජීව්තයට ප්‍රශ්න එනකොට බොහෝ දෙනා කරන්නේ ඒ ප්‍රශ්න මඟ හැරලා පලා යන එක.

ඒත් නාමලී වික්‍රම කියන මේ චරිතය කලේ ඒ ප්‍රශ්න හමුවේ ජීවිතයේ ඉස්සරහට යන්න අලුත් පාරවල් හොයාගත්ත එක . ව්‍යාපාරයක් පටන් ගන්න හැමෝටම පුලුවන්.ඒත් ඒ වෙනුවෙන් අරමුණක්,දැනුමක් සහ ආත්ම ශක්තියක් ලබා ගන්න හැමෝටම බැහැ.ආහාර නිෂාපාදනය ගැන ව්‍යාපාරයක් පටන් ගන්න ඇගේ හිතට අදහසක් එන්නෙත් හරිම අපූරු විදිහට

. "මන් ඉස්කෝලේ ගියේ බොරැල්ල යශෝධරාවට.අපිට ඉස්කෝලේ කාලේදි එක ගුරුතුමියක් නිතරම කිව්වා අපේ රටේ ආහාර අපතේ යන එක වගේම ,අපි බොරුවට සල්ලි වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වන එක ගැන.ඉතින් මේක ගැන කාලයක ඉඳලම මගේ හිතේ අදහසක් තිබ්බා ".

නමුත් ව්‍යාපාරයක පලවෙනි අඩිය තියද්දි හැමෝටම වගේ ඇයටත් ප්‍රශ්න එන්න පටන් ගත්තා. "මම දරුවෝ දෙන්නෙක් එක්ක තනිවෙලා හිටපු කාන්තාවක්.මට බිස්නස් එක පටන් ගන්න ඉඩමක් තිබ්බෙ නෑ..අතේ සල්ලි තිබ්බෙ නෑ..ඒත් මං ගාව දැනුම තිබ්බා.මන් ඒ වෙද්දි ගන්නෝරුවට ගිහිල්ලා මේ ආහාර නිෂ්පාදනය සහ ඒ දේවල් ගැන ඉගෙන ගෙන හිටියේ." කුඩාවට පටන් ගත්ත "ගෝල්ඩන් ස්ටාර්"ආයතනය වෙනුවෙන් ඇය ජීවිතයේ කල හැකි බොහෝ කැපකිරීම් කලා.

 "සමහර දවස්වල මම පාන්දර එක දෙක වෙනකල් අනුරාධපුරය වගේ දුෂ්කර පලාත්වල ලොරි පවා එලෙව්වා.මම කැපවීමෙන් ආයතනය ගොඩ ගන්න උදේ දවල් රෑ මහන්සිවුනා " කාන්තාවක් වුනත් ඇත්තටම ඇගේ ජිවිත කතාව , අපි හැමෝටම හොඳ පාඩමක්. මේ සියලුම දේ කරන අතරේ ආදරණීය මවක් විදිහට විය යුතු සියලු යුතුකම් ඇය නොපිරිහෙලා ඉටු කලා.

"අද මගේ දුවයි පුතයි දෙන්නම ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ඉහළටම ඉගෙන ගෙන තියෙනවා.ඉතිං මං ඒ දෙන්නගේ අත් දෙකෙන් අල්ලගෙන එයාලව මට ගේන්න පුලුවන් ඉහලම තැනට ගෙනාවා " ඇය එහෙම කියන්නේ මවක් විදිහට හරිම ආඩම්බරයෙන්. "මට හැප්පෙන්න වුනේ බහු ජාතික සමාගම් එක්ක.එයාලා එක්ක බලද්දි මම හරියට මහ මුහුදේ ඉන්න හාල්මැස්සෙක් වගේ.ඒත් මගේ හිතේ ආත්ම ශක්තිය තිබ්බා .මං ඒකයි මෙච්චර දුරක් ආවේ".

මේ ගමනෙදි ඇයට පැමිණි අභියෝග ගැන ඇය එහෙම කියන අතරෙම උදව්වට හයියක් වුන අය ගැනත් ඇය ආදරයෙන් මතක් කලා. "මේ වෙද්දි සේවකයෝ 25 කට ආසන්න ප්‍රමාණයක් වැඩ කරනවා.මන් නිසා තවත් අයට රැකියා දෙන්න පුලුවන් වුන එක ගැන මං ආඩම්බර වෙනවා.ණයක් ගන්න ගියාම මට පෙන්නන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ.මගේ හිතේ ආත්ම විශ්වාසයයි ,කැපවීමයි විතරයි මං ළඟ තිබ්බෙ.ඒත් මට සෙලාන් බැංකුව උදව් කලා.ඒ අය මාව විශ්වාස කලා.ඒ නිසා මට අත දුන්නා.මම ආයතනයට යන්ත්‍ර සූත්‍ර එහෙම ගද්දි එයාලා ඒ ගැනත් මට උපදෙස් දීලා මඟ පෙන්නුවා.ඉතිං මගේ හිතේ තිබුන "බිස්නස් ස්ට්‍රෙස්"එක නැති කරලා මට නිදහසේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න සෙලාන් බැංකුව උදව් කලා ".

ඇය එහෙම කියන්නේ බොහොම සංවේදීව.මොකද අපේ රටේ ගොඩක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය මුදලක් ලබා ගන්න ගියාම බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට වෙනවා.ඒත් සෙලාන් බැංකුවෙන් ඇයට අතහිත වගේම ව්‍යාපාරය තව තවත් දියුණු කරන්න අවශ්‍ය මඟ පෙන්වීමත් ඇයට ලබා දීලා තිබුනා.

"දැන් ඉල්ලුමට සරිලන විදිහට සැපයුම දෙන්න අමාරුයි..ඒ නිසාම මම ෆැක්ටරි එක ටිකක් ලොකු කරන්න බලාපොරොත්තු වෙනවා.එතකොට මං වගේම ජීවිතේ ජයගන්න ඕනකම තියෙන තවත් කිහිප දෙනෙක්ටම රැකියා අවස්ථා උදා කරලා දෙන්න මට පුලුවන් " හිතේ හයියෙන් වගේම ආඩම්බරයෙන් ඇය එහෙම කියනවා.ඇත්තටම මෙවැනි දිරිය කාන්තාවන් රටටම ආඩම්බරයක්. අවසානයේදී ඇය කිව්වෙ මේ වගේ දෙයක්.

"අපේ රටේ ආර්ථිකයයි - කෘෂිකර්මාන්තයයි කියන්නේ දෙකක්.ඒ දෙක යන්නේ පාරවල් දෙකක.ඒත් මේක එකක් වෙන්න ඕන.සමහර වෙලාවට අපේ සමහර ගොවි මහත්වරු දන්නෙ නැහැ වෙළඳපොලට අවශ්‍ය නිෂ්පාදන මොනවද කියලා.ඒ නිසා සමහර දේවල් අපි තාමත් පිටරටින් ගෙන්වන්නේ.මම නුවරඑළියේ ගොවිපොලක් දාලා තියෙන්නේ.ග්‍රීන් පීස්,ස්වීට් කෝර්න් වගේ පිට රටින් ගෙන්වන දේවල් මං අපේ රටේම වගේ කරන්න පටන් ගත්තා

" උත්සාහයයි ආත්ම ශක්තියයි තියෙනවනම් ,දියුණු වෙන්න තවත් අවශ්‍ය මොනවද ? ගෝල්ඩන් ස්ටාර් ආහාර නිෂ්පාදන ආයතනයේ සභාපතිනිය ,නාමලී වික්‍රම කියන්නේ ඒකට තියෙන හොඳම උදාහරණයක්.