Thursday, April 25, 2024

General line - 0115112241

වැලිගමදී සොයා ගත් හෙරොයින් තොගය ගැන තොරතුරු රැසක් එළියට




වැලිගම ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයා ගැණුනු හෙරොයින් තොගය විදේශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙරටට එවා ඇති බවට අනාවරණ වී තිබෙනවා. හෙරොයින් කිලෝ 100 ක් සමග සැකකරුවන් තිදෙනෙකු එහිදී අත්අඩංගුවට ගැණුනා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දුන් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

මේ අතර ගංජා සහ තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම සායිඞ්සිටි කලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සැකකරුවන් ගංජා සහ කහ තොගය බෝට්ටුවකින් ප‍්‍රවාහනය කරමින් සිටියදීයි. එම බෝට්ටුවේ තිබී ගංජා කිලෝ 03යි ග‍්‍රෑම් 730ක් සහ කහ කිලෝ 721යි ග‍්‍රෑම් 500ක් සොයා ගත් බවයි පොලිසි පැවසුවේ. මන්නාරම එරුක්කුළම් පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මේ අතර මත්පෙති තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු පුල්මුඬේ, ඛණිජ වැලි සිංහල පාසල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ පුල්මුඬේ කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදීයි. 

සැකකරු සන්තකයේ තිබී මත්පෙති 280 ක් සොයා ගැනුණු බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. සැකකරුට අයත් යතුරු පැදියක් ද පොලිස් විශේෂ බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.