Thursday, April 25, 2024

General line - 0115112241

නාපාන පේමසිරි නාහිමිගේ අවසන් කටයුතු අද පස්වරුවේ -රාමඤ්ඤ මහා නිකායේ නව නාහිමි පත් කිරීමත් අද




අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය අද පස්වරුවේ සිදු කෙරෙනවා. රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය අත්තන්ගනේ ශාසනරතන හිමියන් නෙත් නිවුස් කියාසිටියේ පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව ආදාහන පූජ්‍යෝත්සව කුණ්ඩසාලේ වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල් ක‍්‍රීඩාංගනයේදී සිදු කෙරෙන බවයි.

පුරප්පාඩු වූ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරය සදහා හිමි නමක් පත් කරගැනීමට අද පෙරවරුවේ කාරක සංඝ සභාව රැස්වන බවයි පූජ්‍ය අත්තන්ගනේ ශාසනරතන හිමියන් සදහන් කළේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 17 වනදා අපවත් වූ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වන විට 98 වන වියේ පසුවුණා. උන්වහන්සේගේ අපවත් වීම වෙනුවෙන් අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. 

අනාගත සසුනේ පැවැත්ම සදහා අපවත් වන තුරුම සිය උදාර දිවිය කැප කළ නාපානේ පේමසිරි නාහිමියන්ගේ අවසන් ප‍්‍රයත්නය වූයේ අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය එකම සඟ තලයකට ගෙන ඒම බවයි අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් සිය ශෝක පණිවුඩයෙන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ශේෂ්ඨ බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ නමකගේ අභාවය සමස්ත බුද්ධ ශාසනයටද අප රටටද මහත් පාඩුවක් බවයි කාදිනල් හිමිපාණන් සිය ශෝක පණිවුඩයෙන් දක්වා ඇත්තේ. උන්වහන්සේගේ අනුශාසනා ඇසූ තමන්ටද මෙම වියෝව දැරිය නොහැකි පාඩුවක් බව කාදිනල් හිමියන් සිය ශෝක පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ගුණගරුක සමාජයක් ගොඩනැගීම සදහා උන්වහන්සේ ගම් දනව්වලට වැඩ කරමින් දහම් චාරිකාවේ නියැලෙමින් හුදී දනන්ගේ ආධ්‍යාත්මික සුවය සැලසූ බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. ආගමික හා ශාසනික වශයෙන් වූ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේදී නාපානේ පේමසිරි නාහිමියන් සමීප ඇසුරින් ලැබූ අනුශාසනා ඉවහල් වූ බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. 

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වීම වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ උන්වහන්සේගේ අපවත් වීමෙන් ලද හිඩැස දිගු කලකට පිරවිය නොහැකි බවයි. කිසිදු විටෙක විවිධ අභියෝග හමුවේ උන්වහන්සේ ධර්මවිනයානුකූල ප‍්‍රතිපදාවෙන් බැහැර නොවූ අතර උන්වහන්සේ සිය අනුගාමිකයින්ට පූර්වාදර්ශයක් සැප යූ උතුම් චරිතයක් බවයි අග‍්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවුඩයේ වැඩිදුරටත් දැක්වුණේ.