Wednesday, April 24, 2024

General line - 0115112241

හෙට පාසල් යන ළමුන්ට විශේෂ ප‍්‍රවාහන සැලැස්මක් - රියදුරන්ටත් පොලිසියෙන් උපදෙස්




සිසුන් පාසල් වෙත එවීමට අනියත බියක් ඇති නොකර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙම්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල හෙට සිට පාසල් විවෘත කරනුයේ් සැලසුම් සහගතව ගත් තීරණයකට අනුව බවයි. ඊට කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අංශවලවල උපදෙස් ද ලැබුණු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළේ.

මේ අතර හෙට සිට පාසල් ආරම්භ කරන ප‍්‍රදේශවල බස් රථ මගින්, සිසුන් ප‍්‍රවාහනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක්  සකස් කර ඇති බවද බස් රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවා.

මේ අතර පාසල් ළමුන් ප‍්‍රවාහනය කිරීමේදී හදුන්වා දී ඇති මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල හෙට සිට පාසල් විවෘත කරනුයේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ සිසුන් වෙනුවෙන් පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

එහෙත් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ අවදානම් ප‍්‍රදේශවල පිහිටි පාසල් තවත් සතියක් වසා තබන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජ කොල්ලූරේ පවසනවා.

ඒ අනුව කුරුණෑගල මහ නගරසභා සීමාවේ පිහිටි සියළුම පාසල්, කුරුණෑගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බලප‍්‍රදේශයේ පිහිටි සියළුම පාසල්, මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය බලප‍්‍රදේශයේ පිහිටි සියළුම පාසල්, කුලියාපිටිය නගර සභා සීමාවේ පිහිටි සියළුම පාසල් එලෙස වසා දැමෙනවා. ඊට අමතරව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, කනදුල්ල මහා විද්‍යාලය, දියකළමුල්ල මහා විද්‍යාලය යන පාසල් මෙන්ම පන්නල නගර සීමාවේ පිහිටි සියළුම පාසල් සහ ඊරියගොල්ල මහා විද්‍යාලය, රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප‍්‍රදේශයේ පිහිටි රම්බොඩගල්ල මධ්‍ය මහා විද්‍යාලයද තවත් සතියක කාලයක් වසා තැබෙනවා. නාරම්මල නගර සීමාවේ පිහිටි සියළුම පාසල් මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප‍්‍රදේශයේ පිහිටි ගජනැග්ගම, බලල්ල, යාපහුව, අඹගස්වැව මහා විද්‍යාල සහ මහව නගරයේ පිහිටි විජයබා මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් එලෙස වසා තැබෙන පාසල් අතරට අයත්.