Friday, March 29, 2024

General line - 0115112241

එල් පී එල් ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඩුවම් - අයි සී සී යේ නිලධාරීන් දෙදෙනෙකුත් දිවයිනට




ලබන 26 වැනිදා ආරම්භ වන ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු  ඕනෑම ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. තරගාවලියේ ගුණාත්මකභාවය බිඳ වැටෙන කුමන කටයුත්තක් තරගාවලිය අතරතුරදී වාර්තාවුවහොත් ඒ සම්බන්ධව දැඩි තීරණය ගැනීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දුෂණ විරෝධී ක‍්‍රියා පාලනය පිළිබද කටයුතු කිරීම සදහා මේ වන විටත් අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය යටතේ පවතින දුෂණ විරෝධී අංශයේ නිලධාරීන් දෙදෙනෙකු දිවයිනට පැමිණ සිටිනවා. ඔවුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දුෂණ විරෝධී අංශයේ නිලධාරීන් සමග එක්ව එම කටයුතු සිදු කරන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

ක‍්‍රීඩකයින් සහ කණ්ඩායම් භාර නිලධාරීන් නවාතැන් ගෙන සිටින හම්බන්තොට ෂැන්ග‍්‍රිලා හෝටලයේම නවාතැන් ගෙන සිටින එම නිලධාරීන් හෝටල් පරිශ‍්‍රය, තරග ක‍්‍රියාත්මක ක‍්‍රීඩාංගණයේ මෙන්ම මෙම තරගාවලිය සම්බන්ධව පැවැත්වෙන සියළුම නිල උත්සව අවස්ථාවන්හිදී ඒ පිළිබඳව සුපරික්ෂාකාරීව කටයුතු කරනු ඇති. 

ඒ අනුව තරගාවලිය අතරතුර යම්කිසි දුෂිත ක‍්‍රියාවක් වාර්තා වුවහොත් ඒ පිළිබඳව දුෂණ විරෝධී අංශ නිලධාරීන්ට පැමිණිලි කිරීමට තරගාවලිය නියෝජනය කරනු ලබන ක‍්‍රීඩකයින් සහ කණ්ඩායම් නිලධාරීන් බැඳී සිටින බවද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සදහන් කළා. 

එසේ සිදුකරන පැමිණිලි සම්බන්ධව දැඩි රහස්‍ය භාවයකින් කටයුතු කිරීමට දුෂණ විරෝධී අංශය කටයුතු යොදා තිබෙනවා. තරගාවලිය අතරතුර සැක සහිත හෝ දුෂිත ක‍්‍රියායාවක් පිළිබඳව වාර්තා වුවහොත් ඒ පිළිබඳව තොරතුරු ලබා දීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ දුෂණ විරෝධී අංශය 24 පැය පුරා ක‍්‍රියාත්මක දුරකථන අංකයක්ද හදුන්වාදී තිබෙනවා. 

තරගාවලියේ සමාරම්භයට පෙර සියළුම ක‍්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දුෂණ විරෝධී කටයුතු සම්බන්ධව වැඩි දුර දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වෙනු ඇති. කෙසේවෙතත් දුෂණ විරෝධී කටයුතු සම්බන්ධ අනුගමනය කළ යුතු කරුණු, ක‍්‍රීඩකයින් සහ නිලධාරීන් වෙසෙන ස්ථානවලදී එලෙසින්ම ක‍්‍රියාත්මක කිරීමට දුෂණ විරෝධී අංශ නිලධාරීහු පියවර ගෙන තිබෙනවා.  

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ දුෂණ විරෝධී අංශ හැරුණු විට දුෂිත ක‍්‍රියාවලින් තොරව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යෑම සහතික කර ගැනීම සඳහා අවශ්‍ය විටෙක රජයේ ආරක්ෂක අංශවල සහාය ලබා ගැනීමටද බලාපොරොත්තු වන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. මෙම තරගාවලිය හා බැඳි සිටින්නන්, 2019 වසරේ අංක 24 දරණ ක‍්‍රීඩා පනතට අදාළව මෑතකදී බලාත්මක කරන ලද ”අපරාධ වැළැක්වීමේ පනතෙහි” විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු වනවා.  

ඒ අනුව ක‍්‍රීඩාවේ  ඕනෑම ආකාරයක දුෂිත අවස්ථාවක් නැතහොත්, තරග පාවාදීමක්, නීති විරෝධී ලෙස හැසිරවීම සහ ඔට්ටු තැබීම ශ‍්‍රී ලංකා අපරාධ නීතිය යටතේ සාපරාධී වරදක් ලෙස සලකනු ලබනවා.