Saturday, April 20, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් 458ක් සහ මරණ 04ක් අද දිනයේදී වාර්තා වෙයි




මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ දී වාර්තා වූ පුද්ගල මරණ 04ක් සමග බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.

අද වාර්තා වූ මරණ අතර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රාගම රෝහලට මාරුකොට යැවු 74 හැවිරිදි පුද්ගලයෙකු ද වනවා. මීට අමතරව අටලුගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුදගලයෙකු, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් සහ සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 54ක පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 458 දෙනෙකු හඳුනා ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20,967ක් වනවා.

අද දිනය වන විට සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,962ක් වන අතර දැනට රෝහල් ගතව සිටින පිරිස 5,911ක් වනවා.

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,436ක් වනවා.