Saturday, April 20, 2024

General line - 0115112241

හිටපු ජනපති මෛතී‍්‍රගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගෙන් පාස්කු කොමිසමට පරස්පර ප‍්‍රකාශ




පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා වන ප‍්‍රියන්ත පුෂ්පකුමාර එම කොමිෂන් හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නා.

එහිදී ඔහු කියා සිටියේ පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, ඒ වනවිට සිංගප්පුරුවේ රැුඳී සිටි හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීම සඳහා තමන්ගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේද යන්න පිළිබඳව තමන්ට මතකයක් නොමැති බවයි.   

කෙසේවෙතත්, මෙම නිලධාරියා මීට පෙර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ලබාදී ඇති ප‍්‍රකාශය සහ ඊයේ දින ලබාදුන් සාක්ෂිවල පරස්පරතා පවතින බව කොමිසමේ නිරීක්ෂණයට ලක් වුණා. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිංගප්පුරුවේ රැඳී සිටි දිනවල ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකථනය අතැතිව සිටි සහ වර්තමානයේද හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ප‍්‍රියන්ත පුෂ්පකුමාරයි.

සිංගප්පූරු ගමනට හිටපු ජනාධිපතිවරයා සමග සහභාගී වු පිරිස කවුරුන් ද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී සාක්ෂිකරුගෙන් විමසුවා. එහිදී සාක්ෂිකරු සදහන් කළේ ජනාධිපතිතුමාගේ බිරිඳ, පෞද්ගලික වෛද්‍යවරයා, ප‍්‍රධාන ආරක්ෂක නිලධාරි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ තමන් එම ගමනට සහභාගි වූ බවයි.

එහිදී නැවතත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, ”පාස්කු ප‍්‍රහාරය එල්ල වු දින ප‍්‍රහාරයට පෙර පෙරවරු 7යි 59ට පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා නිලන්ත ජයවර්ධන  ඔබ සතුව පැවති දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ ද?,” යන්නයි. එහිදී සාක්ෂිකරු සදහන් කළේ දුරකථන ඇමතුමක් ආ බවක් මේ වාර්තාවේ පෙන්නුම් කළද ඒ පිළිබද තමන්ට මතකයක් නොමැති බවයි.