Saturday, April 20, 2024

General line - 0115112241

විල්පත්තුවේ එලිපෙහෙලි කළ භූමිය ගණනය කිරීම ඇරඹෙයි




විල්පත්තු රක්ෂිතය අවට පිහිටි එලිපෙහෙලි කළ කල්ආරු රක්ෂිතය ඇතුළු ප‍්‍රදේශ සම්බන්ධයෙන් මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය මැනුම් කටයුතු ආරම්භ කර ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා. මාස දෙකක් තුළ එම කටයුතු අවසන් කරනු ඇති බවටයි පරිසර යුක්ති කේන්ද්‍රය විශ්වාසය පල කළේ.

විල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප‍්‍රදේශ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් ඇතුළු කටයුතු නීති විරෝධි බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ද ඔවුන්  පවසනවා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඕ බදියුර්දීන්ට ඉකුත්දා අභියාචනාධිකරණය නියෝග කළේ සිය පෞද්ගලික වියදමින් එම ප‍්‍රදේශ වල නැවත වන වගාවන් සිදු කරන ලෙසයි. තමන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව නැවත අභියාචනයක් ඉදිරිපත් කරන බවට ඉකුත්දා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුර්දීන් සඳහන් කළා. ඊට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රයද පෙනී සිටින බවයි එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ පැවසුවේ. 

අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව එළෙසම කි‍්‍රයාත්මක කරන්නේදැයි අඛණ්ඩව නිරීක්ෂණය කරන බව ද ඔහු සඳහන් කළා.

විවිධ ප‍්‍රදේශවල රක්ෂිත ඇතුළු වනාන්තර මෙන්ම ස්භාවික සම්පතට සිදුවන හානිය සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩියෝව දිගින් දිගටම තොරතුරු අනාවරණ කරමින් පවතිනවා. අනාවරණයෙන් පමණක් නොනැවතී පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමටත් එය මතු පරපුරට දායද කිරීමටත් නෙත් එෆ් එම් රේඩියෝව තවදුරටත් කටයුතු කරමින් සිටින්නේ දිවි හිමියෙන්.
මේ අතර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක වනජීවී නිලධාරීන්ට බැණ වැදීමේ සිද්ධිය මුල් කරගනිමින් වනජිවී නිලධාරීන් හා ක්ෂේත‍්‍ර සහායකවරුන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය මේ වන විට අවසන් කර තිබෙනවා.