Thursday, April 18, 2024

General line - 0115112241

පොලිස් කොස්තාපල් ඝාතනයේ වැලි ජාවාරම්කරු අල්ලයි




කොබෙයිගනේ, හාතලව ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කර පළාගොස් සිටි ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ 27 හැවිරිදි සැකකරු නිකවැරටිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පැවැත්වීමට නියමිතයි. අනතුරින් පසු අදාළ ටිපර් රථය කුලියාපිටිය ප‍්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලිසිය විසින් අද උදෑසන සොයාගනු ලැබුවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඇතුළු පොලිසියේ පස් දෙනෙකු ඊයේ රාතිී‍්‍රයේ අදාල ප‍්‍රදේශයට ගොස් තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව දැඳුරු ඔයේ වැලි ජාවාරමේ නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහායි. එහිදී ටිපර් රථ රියදුරා විසින් යටකර පලාගොස් තිබුණේ 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්. අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරු නිකවැරටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මියගිය පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව යටතේ ඉදිරියේ දි සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.