Thursday, March 28, 2024

General line - 0115112241

මහර බන්ධනාගාරයේ කැරැල්ල යට අමුතු පෙත්තක්




මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය පිළිබඳ මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වෙමින් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ සුලූ සිදුවීමකින් ආරම්භ වූ මෙම සිද්ධිය මුල් කරගනිමින් රැදවියන් 2000ක් පමණ එකවර බන්ධනාගාර රෝහලට කඩා වැදී ඇති බවයි. එහි සිටි ඖෂධ නිලධාරීයා සහ හෙද නිලධාරියෙක් සිය භාරයට ගෙන ඇති රැදවියන් රෝහලේ ඇති මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධයක් බලහත්කාරයෙන් ලබා ගෙන තිබෙනවා. 

මානසික රෝගීන් නොවන පුද්ගලයින් එම ඖෂධ අධි මාත‍්‍රාවන්ගෙන් පානය කිරිමෙන් මානසික ව්‍යාකූලතා ඇති වන බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ. සෑම බන්ධනාගාරයක මෙන් මෙම ඖෂධයේ සැලකිය යුතු තොගයක් මහර බන්ධනාගාර රෝහලේද ගබඩා කර තිබී ඇති බව නෙත් නිවුස් වෙත අනාවරණ වූණා. මෙලෙස බන්ධනාගාර රෝහලට කඩා වැදී එම ඖෂධය පානය කර ඇත්තේ මත්කුඩු සම්බන්ධයෙන් රිමාන්ඞ් කර සිටින රැදවියන් පිිරිිසක්.

ඔවුන් පළමුව මුලූතැන් ගෙට ගොස් එහි තිබි තෙල් වර්ග රැගෙන ඒවා භාවිත කරමින් බන්ධනාගාරයේ තැන තැන ගිනි තැබීම් සිදු කර තිබෙනවා. එහිදී කාර්යාල 10කට, ගබඩාවට සහ මුලූතැන්ගෙට දැඩි හානි සිදු වුණා. මුලූතැන්ගෙට ඇතුලූ වූ තවත් පිරිසක් එහි තිබූ කල්දේරම් කපා උල් ආයුද සකස් කර පහර දීම සිදු කර තිබෙනවා. 

රැදවියන් 2000ක් පමණ එකවර කඩා වැදීමත් සමග බන්ධනාගාර රෝහලටද දැඩි හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. රැදවියන් විසින් සිය භාරයට ගත් රෝහල් කාර්යය මණ්ඩල සමාජිකයින් දෙදෙනා ලබා තුවාල ලැබූ රැදවියන්ට ප‍්‍රතිකාර සිදු කරගෙන තිබෙනවා. ඖෂධ නිලධාරීයට සහ හෙද නිලධාරීයාට රැදවියන් විසින් පහර දී ඇති අතර ඖෂධ නිලධාරීයා ග‍්‍රහණයෙන් මුදා ගෙන ඇත්තේ ඊයේ රාතී‍්‍ර 10.30ට පමණයි. පසුව බේරා ගැණුනු හෙද නිලධාරීයාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. 

බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ රෝහලෙන් පැහැරගත් ඖෂධ වරින් වර භාවිත කරමින් රැදවියන් නොසන්සුන් ලෙස හැසිරුණු බවයි. මෙම ඖෂධ අධි මාත‍්‍රාවෙන් පානය කිරීමෙන් මනසේ ඇතිවන ව්‍යාකූල තත්ත්වය පැය 06ක පමණ කාලයක් පවතින බවද ඔහු සඳහන් කළා. කෙසේවෙතත් අද පස්වරුවේද වරින් වරින් මහර බන්ධනාගාරය තුළ රැදවියන් අතර යම් උණුසුම් තත්ත්වයන් ඇති වී තිබෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.