Saturday, April 20, 2024

General line - 0115112241

ඉතිහාසයේ පළමු වරට අද කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ




ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (30) පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූ අතර රැස්වීම සාර්ථකව සිදු වූ බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කෙරුණා. නව තාක්ෂණය හඳුන්වාදීමට, භාවිත කිරීමට සහ හුරුකරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛතාව දී තිබේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එය අවධාරණය කර ඇත. 

එකී අරමුණ පෙරදැරිව තාක්ෂණ අමාත්‍යාංශය ද ජනාධිපතිතුමා පසුගියදා සිය අධීක්ෂණයට පවරා ගනු ලැබුවා. 

21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) ගොඩනැගීම ජනාධිපතිතුමාගේ අභිප්‍රාය වේ. 

රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවකි.