Saturday, April 20, 2024

General line - 0115112241

"බුරවී" සුළි කුණාටුව මන්නාරම් බොක්ක ආසන්නයට




ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකාවට ඇතුළුවූ බුරවී සුළි කුණාටුව මේ වන විට ක්‍රමයෙන් මන්නාරම් බොක්ක ආසන්නයේ ස්ථානගත වෙමින් පවතින අතර එය අද දහවල් කාලය වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මේ හේතුවෙන් ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩු වෙනු ඇති බවයි කාලගුණ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ බුරවී සුළි කුණාටුව හේතුවෙන් මේ වන තෙක් කිසිදු බරපතල ගණයේ හානියක් සිදුවූ බවට දිස්ත්‍රික් ආපදා කමිටු මගින් වාර්තා කර නොමැති බවයි.

ගස් කඩා වැටීම්, පහත් බිම් ජලයෙන් යටවීම් වැනි සිදුවීම් කිහිපයක්ම මුලතිව්, වව්නියාව සහ මන්නාරම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම ස්ථාන සඳහා ආපදා සහන කණ්ඩායම් මේ වන විටත් යොමු කොට ඇති බවයි ඔහු සඳහන් කළේ.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුරවී සුළි කුණාටුවේ කේන්ද්‍රය ඊයේ රාත්‍රී 10.30 ත් 11ත් අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළේ තිරියාය සහ කුච්චවේලි අතරින් ගොඩබිමට ඇතුල්වූ බවත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 අතර පැවති අතර එය විටින් විට පැයට කිලෝමීටර් 90 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.