Saturday, April 20, 2024

General line - 0115112241

මත ගැටුමකින් පසු LPL කොළඹ පිලේ පුහුණුකරු ඉවතට




කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයෙන් හර්ෂල් ගිබ්ස් ඉවත්කර තිබෙනවා. ඒ, කණ්ඩායම් කළමනාකාරීත්වය සහ කී‍්‍රඩකයෙකු අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන්. හර්ෂල් ගිබ්ස් කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු ලෙස සහාය පුහුණුකරු වූ රංගන හේරත් පත්කර තිබෙනවා. 

දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන හර්ෂල් ගිබ්ස් එල්.පී.එල් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙසයි පළමුව එක්්වීමට නියමිතව සිටියේ. කෙසේ වෙතත් කොළඹ කණ්ඩායමේ හිටපු ප‍්‍රධාන පුහුණුකරුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග හර්ෂල් ගිබ්ස් කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත් කෙරුණා.

මේ අතර ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතයි. දෙවන අවසන් පූර්ව තරගය ලබන 14 වනදා දඹුල්ල වයිකින්ග් සහ ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම් අතර පැවැත්වෙනවා. අවසන් පූර්ව වටයේ තරග පස්වරු 7ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වෙන කාලවකවානුව ඊයේ ප‍්‍රකාශයට පත්කෙරුණා. ඒ අනුව තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිත බවයි තරගාවලි සංවිධායකයින් සදහන් කළේ. දෙවැනි අදියරේ සිට හෝ තෙවැනි අදියරේ සිට තරගාවලියට තවත් කණ්ඩායම් කිහිපයක් එක් කරන බව එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික‍්‍රමරත්න මීට පෙර ප‍්‍රකාශ කළා. 

ඒ අනුව ඉදිරි තරගාවලියේදී නැගෙනහිර පළාත ද නියෝජනය වන පරිදි කණ්ඩායමක් එක් කිරීමට අපේක්ෂිතයි.
මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට මෙවර ලංකා ප‍්‍රිමියර් ලිග් ක‍්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කටයුතුවලින් ඉවත් වීමට සිදු වි තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අප‍්‍රිකා තරග සංචාරය හේතුවෙන්. අදාළ තරග සංචාරය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යන්නේ ලබන 17 වැනිදායි. කෙසේ වෙතත්, ඊට පෙර ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ වෛද්‍ය විශේෂඥයෙකු දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගියදා ප‍්‍රකාශ කළා. ඒ අනුව මිකී ආතර් හෙට දිනයේ දකුණු අපි‍්‍රකාව බලා පිටත්ව යාමට නියමිතයි.