Friday, April 19, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල් සඳහා සහන සැලසීම ගැන කාදිනල් හිමිගෙන් රජයට ප්‍රශංසා 




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වල ගැටළු නිරාකරණය කරමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ප‍්‍රශංසා කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. 

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වල ගැටළු නිරාකරණය හා ප‍්‍රහාරයට ලක්වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අග‍්‍රාමාත්‍යයවරයාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවැති සාකච්ජාවකදී අගරදගුරු හිමියන් මේ බව කියා සිටියා. අනාගතයේදී එවැනි සිදුවීම් ඇති නොවීමට රට ආරක්ෂිත ස්ථානයක් කිරීමට රජය අවශ්‍ය සියලූ කි‍්‍රයාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහිදී සඳහන් කළා. 

පාස්කු ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන්, කටුවාපිටිය ප‍්‍රදේශයේ ඉදිවන නිවාස 24 ක ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීම සඳහා කටයුතු කරන ලෙසයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අග‍්‍රාමාත්‍යවරයා මෙම සාකච්ජාවේදී උපදෙස් ලබාදී ඇත්තේ. ඊට අමතරව දැනට ඉඩම් හිමි පුද්ගලයින් වෙනුවෙන් තවත් නිවාස 05 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් කටුවාපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිතයි. ප‍්‍රහාරයෙන් පීඩාවට පත්ව කොළඹ අවට කුලී නිවාසවල සිටින පවුල් 33 ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ යෝජිත නිවාස සංකීර්ණයකින් නිවාස 33 ක් වෙන් කරදෙන ලෙස අග‍්‍රාමාතයවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. 

මීට අමතරව බදුල්ල, මහනුවර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක වෙසෙන පවුල් 11 ක් වෙනුවෙන් අදාළ ප‍්‍රදේශවලින් නිවාස අවශ්‍යතා සපුරාලීමට ද මෙහිදී එකගතාව පළවුණා. ප‍්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඬේ දේවස්ථානයේ ඉදිකිරීම් අවසන් කරන ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා, නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප‍්‍රහාරයෙන් පීඩාවට පත්ව ණය වාරික ගෙවා ගත නොහැකි පුද්ගලයින් වෙනුවෙන් සහන සැලසීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසද අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත මෙහිදී උපදෙස් ලබාදුන් බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.