Tuesday, April 23, 2024

General line - 0115112241

ඉන්දියාව අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වාර්තා කරයි : හේසල්වුඩ් සහ කමින්ස් ඉන්දීය පිල ලකුණු 36 කට සීමා කරයි 




ඕස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉණිමේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 36 කට දැවී ගියා. ඒ ටෙස්ට් තරගයකදී ඉන්දිය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. 

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියාවට ලකුණු 90ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඉන්දියානු කණ්ඩායමේ අවසන් පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් සිටි මොහමඩ් සාමී, පැට් කමින්ස් ගේ පන්දුවක් ඇගේ වැදීමෙන් පිටියෙන් ඉවත්වන විට ඉන්දීය ලකුණු පුවරුව දිස් වුයේ ලකුණු 36ක් ලෙසයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉණිම අවසන් වූ අතර මේ දක්වා ඔවුන් ටෙස්ට් තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා පොත් අතරට එක්වූවා.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු වේග පන්දු ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ් පන්දු ඕවර 5ක් යවා ලකුණු 08 කට කඩුලු 05ක් සහ පැට් කමින්ස් ලකුණු 21 කට කඩුලු 04 ක් දවා ගනිමින් එක් ඉන්දීය පිතිකරුවෙකුට හෝ ලකුණු 10 සීමාව පසු කිරිමට ඉඩ අවකාශ ලබා නොදෙනු ලැබුවා.

මිට පෙර ඉන්දියාව ටෙස්ට් තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකෙන්නේ 1974 වර්ෂයේ එංගලන්තය සමග පැවති තරගයේ දී වාර්තා කළ ලකුණු 42යි.