Friday, April 26, 2024

General line - 0115112241

ධනංජයගේ සහ චන්දිමාල්ගේ පිති හරඹයෙන් බිඳ වැටුණු ශී‍්‍ර ලංකා පළමු ඉනිම ශක්තිමත් වෙයි




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාර්ක්හිදී අද ආරම්භ වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 03 කට ලකුණු 240 ක් ලබා සිටියා. 

නායක දිමුත් කරුණාරත්න ලකුණු 22 කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 16 කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 12 යි. ඉන් අනතුරුව පිටියේ එක්වූ ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54 කට කඩුලූ 03 ක් බිඳ වැටී තිබුණු ශී‍්‍ර ලංකා ඉණිම ශක්තිමත් කරමින් ලකුණු 131 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුණා. ධනංජය ද සිල්වා, ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වනවිට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79 ක්. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 65 ක් ලබා සිටින අතර නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 24 ක් ලබා සිටිනවා.

මෙම තරඟයේදී වනිඳු හසංරග ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගැනීම විශේෂත්වයක්. ඔහු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත් 151 වන ක‍්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වනවා. එම තරගයේදී ටෙස්ට් ලකුණු සීමාව 3000 සීමාව පසු කළ 14 වන ශී‍්‍ර ලාංකික පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් අද වාර්තා අතරට එක්වීම ද විශේෂත්වයක්. 

අද තරගය ආරම්භ වනවිට ටෙස්ට් ලකුණු 3000 සම්පූර්ණ කිරීම සඳහා කුසල් මෙන්ඩිස්ට අවශ්‍යව තිබුණේ ලකුණු 05 ක් පමණයි. ඒ අනුව අද තරඟයේදී රැස් කළ ලකුණු 12 ත් සමග කුසල් මෙන්ඩිස් ටෙස්ට් ලකුණු 3,007 ක් රැස්කර තිබෙනවා. ටෙස්ට් තරඟ 45 කට ක‍්‍රීඩා කර ඇති කුසල් මෙන්ඩිස් ශතක 07 ක් සහ අර්ධ ශතක 11 ක් රැස් කර තිබෙනවා.