Thursday, April 25, 2024

General line - 0115112241

ලකුණු අතර සිටි ශී‍්‍ර ලාංකික පිතිකරුවෙක් දකුණු අපි‍්‍රකානු සංචාරයෙන් ඉවතට




ධනංජය ද සිල්වාට දකුණු අපි‍්‍රකානු සංචාරය අහිමි වී තිබෙනවා. ඒ ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්. ඔහුට සති දෙකක කාලයක් කි‍්‍රකට් පිටියෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පැවසුවේ.

සෙන්චූරියන් හි දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා පළමු ඉනිමේදී ලකුණක් කරා දිව යන අවස්ථාවේදී ධනංජය ද සිල්වා අවසනාවන්ත ලෙස පාදයේ ආබාධයකට ලක් වුණා. ඒ නොදැවී ලකුණු 79ක් ලබා සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේදීයි. කෙසේවෙතත් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ධනංජය ද සිල්වාට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග එක්වීමට හැකිවනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සෙන්චූරියන් හි ආරම්භ වු පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පලමු දිනය නිමා වන විට පළමු ඉනිම සදහා කඩුලූ 6ක් දැවි ලකුණු 340ක් රැස් කරමින් ශී‍්‍ර ලංකා පිල ප‍්‍රබල ස්ථානයක පසු වුණා. නොදැවී පන්දුවට පහර දෙන්නේ දසුන් ශානක සහ කසුන් රාජිතයි. දසුන් ශානක නොදැවී ලකුණු 25ක් සහ කසුන් රාජිත නොදැවී ලකුණු 7ක් ලබා සිටිනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම තවත් ලකුණු 3ක් ලබා ගත හොත් දකුණුු අපි‍්‍රකාවේදී ටෙස්ට් ඉනිමක ශී‍්‍ර ලංකා පිල වාර්තා කළ වැඩිම ලකුණු සං්‍යඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්වනු ඇති. 2012 වසරේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කේප්ටවුන් හි පැවැති ටෙස්ට් තරගයකදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ලබා ගත් ලකුණු 342ක ශී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු අපි‍්‍රකාවේදී ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. 
ඒ අනුව එම වාර්තාව බිද හෙලීමට අද දිනයේදී ශී‍්‍ර ලංකා පිලට අවස්ථාව හිමිව තිබෙනවා. සෙන්චුරියන් හි පැවැත්වෙන ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි‘.