Thursday, March 28, 2024

General line - 0115112241

හදිසි අනුමැතිය දුන් එන්නත් නිසා ඉන්දියාව අවදානමක




ඉන්දියාව විසින්ම නිපදවූ කොරෝනා මර්ධන එන්නත් 02 ක් රටතුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ මේවනවිට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

 විදෙස් වාර්තා පැවසුවේ කොරෝනා එන්නත් දෙකෙහි අවසන් අදියරේ අත්හදා බැලීම් අවසන්වීමටත් පෙර එය භාවිතයට අනුමැතිය ලබාදීම වෛද්‍ය විශේෂඥයින්ගේ දැඩි අවදානයට ලක්ව ඇති බවයි. මේ හේතුවෙන් ඉදිරියේදී අවදානම් තත්ත්වයක් ද ඇතිවිය හැකි බව ඔවුන්ගේ අනුමානය වනවා. 

කෙසේවෙතත්, කොරෝනා මර්ධන එන්නත් සියයට සියයක් ආරක්ෂිත බවයි ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයා පැවසුවේ.  ඕනෑම එන්නතක් සඳහා උණ, වේදනාව සහ ආසාත්මිකතා වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළා. මෙම කොරෝනා මර්ධන එන්නත් භාවිතයෙන් සුළු හෝ අවදානමක් පවතින්නේ නම් තමන් කිසිසේත් එම එන්නත් අනුමත නොකරන බවයි ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයා සඳහන් කළේ. 

කෙසේවෙතත් අදාළ එන්නත් ද්විත්වයම සාමාන්‍ය ශීතකරණයක උෂ්ණත්වය යටතේ ප‍්‍රවාහනය කළ හැකිවීම සහ ගබඩා කළහැකි වීම විශේෂත්වයක්. ලබන අගෝස්තු මාසය වනවිට ඉන්දියානුවන් මිලියන 300 කට පමණ කොරෝනා මර්ධන එන්නත ලබාදීම ඉන්දියාවේ අපේක්ෂාවයි. 

මේ අතර දකුණු අපි‍්‍රකාවෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරස් ප‍්‍රභේදය, එංගලන්තය තුළ ඉතා ඉක්මනින් පැතිර යමින් ඇති කොරෝනා වෛරස් ප‍්‍රභේදයට වඩා අවදානම් බව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසනවා. එබැවින් රට තුළ උද්ගත විය හැකි භයානක තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා දකුණු අපි‍්‍රකාවේ සිට පැමිණෙන ගුවන් යානා රටතුළට ඇතුළු කර නොගන්නා බව ද ඔහු සඳහන් කළා.