Thursday, April 25, 2024

General line - 0115112241

එංගලන්තය යළි ලොක්ඩවුන් වෙයි




කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ සීග‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තය යළිත් වසා දැමීමට බි‍්‍රතාන්‍ය බලධාරීන්ට සිදුවුණා. ඒ අනුව පෙබරවාරි මස මැදභාගය වනතෙක් දැඩි කොරෝනා රෙගුලාසීන්ට යටත්ව එංගලන්තය වසා දමන බවයි ජාතිය අමතමින් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ. පවතින තත්ත්වය හමුවේ මෙවැනි දැඩි නිරෝධායන රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා. 

ඒ අනුව එම දැඩි කොරෝනා රෙගුලාසි එංගලන්තය තුළ අද සිට කි‍්‍රයාත්මක වනු ඇති. සියලූම වැසියන් සිය නිවෙස් තුළම සිටිය යුතු අතර එංගන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ දැනටමත් වසා දමා ඇති පාසැල් නැවත දැනුම්දෙන තුරු විවෘත නොකෙරෙනු ඇති. අවසරය ලත් අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් සංචරණය සඳහා අවසර හිිමිවනවා. එසේම ආහාර පාන හා ඖෂධ මිලදී ගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙන්ම ව්‍යායාම සඳහා රෙගුලාසීන්ට යටත්ව නිවෙස්වලින් පිටතට පැමිණීමට ද එංගලන්ත වැසියන්ට අවස්ථාව හිමිවනු ඇති.

කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ සීග‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ සියලූ රෝහල් ධාරිතාවය ද ඉක්මවා රෝගීන්ගෙන් පිරී පවතිනවා. ඒ අනුව රට තුළ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරිමටයි රජය තීරණය කළේ. 

එම වැඩපිළිවෙළට අනුව සත්කාරක නිවාසවල සිටින පුද්ගලයින් හා ඔවුන් රැකබලාගන්නන්, වයස අවුරුදු 70 සහ ඊට වැඩි පුද්ගලයින්, සියලූ සෞඛ්‍ය හා සත්කාර සේවකයින් මෙන්ම අතිශයින්ම අවදානමට ලක් වූවන් සඳහා පෙබරවාරි මාසයේ මැද භාගය වන විට එන්නත් මාත‍්‍රාවක් ලබාදීම බි‍්‍රතාන්‍ය රජයේ අපේක්ෂාවයි.