Thursday, April 25, 2024

General line - 0115112241

රන්ජන්ගේ මන්තී‍්‍ර ධුරය ගැන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු - පාර්ලිමේන්තු මහලේකම් කියයි




සිරදඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අද පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයට රැගෙනඑනු ලැබුවා. බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ නිරෝධායන කි‍්‍රයාවලිය සදහා යොමු කිරීමට මන්තී‍්‍රවරයා එම බන්ධනාගාරයට රැගෙන ආ බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මන්තී‍්‍රවරයාට දඩුවම් නියම කිරීමෙන් අනතුරුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගොස් අදාළ ලියාපදිංචි කිරීම ඇතුළු මූලික කටයුතුවලින් අනතුරුවයි පල්ලන්සේන බන්ධනාගාරයට රැගෙනගොස් ඇත්තේ. ඒ වනවිට ඔහු සිරකරුවන්ට ලබාදෙන ජම්පරයක් ඇද සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට, ශ්‍රේෂ්ඨාධිකරණය අද වසර 4 ක බරපතල වැඩසහිත සිරදඩුවමක් නියම කළේ අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින්. අදාළ නඩුව විභාගයට ගැණුනේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ පි‍්‍රතිපත්මන් සූරසේන යන ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. ශී‍්‍ර ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දුෂිත බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇති බවත් එම ප‍්‍රකාශය ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පවා තහවුරු කර ඇති බවයි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෲ කියාසිටියේ. 

අදාළ ප‍්‍රකාශය කිසිදු හේතුවක් මත ඉවත් නොකර ගන්නා බවට විත්තිකරු ප‍්‍රකාශ කර ඇති බවත් එම කරුණු අධිකරණයේ කැදවූ සාක්‍ෂිවලින් සනාථ වන බවත් විනිසුරු සිසිර ද ආබෲ එහිදී කියාසිටියා. 2017 වසරේ අගෝස්තු මස 21 වනදා එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ රන්ජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කළ එම ප‍්‍රකාශයෙන් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණා.  ඊට අදාළ නඩුව ගොණුකර තිබුණේ විශ‍්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා නමැත්තා විසින්.

සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.

සිරදඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකගේ මන්තී‍්‍ර ධුරයට අත්වන ඉරණම කුමක් දැයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායකගෙන් කරුණු විමසුවා. ඔහු කියාසිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිල වශයෙන් ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. 

ඒ අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකගේ මන්තී‍්‍ර ධුරය අදාළ කි‍්‍රයාමාර්ග ගන්නා තෙක් අහෝසි නොවන බව ද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.