Saturday, April 20, 2024

General line - 0115112241

නැගෙනහිර පර්යන්තය විකුණන්නේ හෝ බදු දෙන්නේ නැහැ - ජනපති වෘත්තීය සමිති නියෝජිතයින්ට කියයි




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම සිදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ පවසා තිබෙනවා. ඒ, වරාය වෘත්තීය සමිති කළ ඉල්ලීමකට අනුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදීයි.

පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබූ බවත් එය විකිණීමෙන් පසු ජපානයෙන් ණය ලබාගෙන එම ණය මුදලින් ඉදිකිරීම් සදහා වන උපකරණ මිලදී ගැනීමත් අදාළ ගිවිසුමට ඇතුළත්ව තිබූ බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත්තේ.

එම ගිවිසුම පිළිබද වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡුාවලින් පසු සියයට 51 ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකගතාවකට පැමිණීමට හැකි වූ බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට කිසිදු හානියක්වීමට තමන් ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ශී‍්‍ර ලංකා රජයට සියයට 51 ක අයිතිය සහ ඉතිරි සියයට 49 ඉන්දියාවේ අදානි සමාගමටත්, වෙනත් පාර්ශවයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී සදහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළා.