Thursday, April 25, 2024

General line - 0115112241

පාසල් බස් හා වෑන් රථ රියදුරන් අහඹු ඇන්ටිජන් පරීක්‍ෂාවකට : සෞඛ්‍ය නීති කඩකළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473 කට නඩු




මෙරට දෙවන කොරෝනා රැල්ලේ කොළඹ දිස්ත‍්‍ර‍්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව විසිදහස ඉක්මවා තිබෙනවා. ඒ, ඊයේ දිනයේදි කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තවත් ආසාදිතයින් 223 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 692 දෙදෙනෙකු හදුනා ගැනුනු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුයේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 30 දෙනෙකු දෙමටගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.

කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයෙන් ආසාදිතයින් 32 දෙනෙකු, බොරැල්ල ප‍්‍රදේශයෙන් 18 දෙනෙකු, මරදාන ප‍්‍රදේශයෙන් 16 දෙනෙකු සහ බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයෙන් 12 දෙනෙකු ඊයේ වාර්තා වු බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 119 දෙනෙකු වාර්තා වන අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ මීගමුව පොලිස් වසමෙන්. එම සංඛ්‍යාව 32ක්. කැලණිය පොලිස් වසමෙන් ආසාදිතයින් 16 දෙනෙකු සහ පෑලියගොඩ පොලිස් වසමෙන් ආසාදිතයින් 13 දෙනෙකුද ඊයේ වාර්තා වුණා.

ඊයේ දිනයේදී කලූතර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 112 දෙනෙකු, මාතලේ දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයින් 34 දෙනෙකු, ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකු, මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු, කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු, වවුනියාව දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 16 දෙනෙකු සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා. 

ඊයේ දිනයේ මෙරටදී පී සී ආර් පරීක්ෂණ 14,329ක් සිදු කර ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 137 දෙනෙකු ඊයේ දිනයේ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ සදහා යොමු කෙරුණු අතර ඉන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 2,513 දෙනෙකු සම්බන්ධයෙන් නිරෝධායන නීති යටතේ කටයුතු කර ඇති අතර ඔවුන්ගෙන් 48 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි පී සී ආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

මේ අතර කොළඹ, වැල්ලවත්තේ සිට උතුරු සහ නැගෙනහිර පළාත්වලට පිටත්ව යන බස් රථ මගීන් රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවකට ඊයේ යොමු කළ අතර ඉන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනා ගෙන තිබෙනවා. එමෙන්ම පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන බස් හා වෑන් රථ රියදුරන් අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ සදහා යොමු කිරීමේ කටයුතු ද ඊයේ සිට ආරම්භ කළා. බස්නාහිර පළාතේ පිහිටි සති පොල ආශි‍්‍රතවද රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කටයුතු සිදුකරන්නේ දැයි ඉකුත් දින දෙකේදී සෞඛ්‍ය අංශ සහ පොලීසියේ හදිසි පරීක්‍ෂාවකට ලක් වුණා. මෙහිදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 2,823 ක් පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර එහිදී ස්ථාන 473 ක නිසි සෞඛ්‍ය ක‍්‍රමවේද යටතේ කටයුතු සිදු නොකරන බවටයි අනාවරණ වුණේ. ඉදිරියේදී එම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප‍්‍රධානීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.