Thursday, April 25, 2024

General line - 0115112241

GMOA සභාපතිගේ නිවසේ සාදයට ගිය කොවිඩ් ආසාදිත වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයෙකුටත් වෛරසය ආසාදනය වෙයි 




මිනුවන්ගොඩ, උග්ගල්ගොඩ ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකාවක් හට ද වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මෙම වෛද්‍යවරයා ඇතුළු තවත් වෛද්‍යවරුන් කිහිපදෙනෙකු පසුගිය 08 වෙනිදා කැලණිය, වනවාසල ප්‍රදේශයේ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ගේ නිවසේ පැවති සාදයකට සහභාගිවී ඇති බවත් පැය 04ක පමණ කාලයක් ආසාදිත වෛද්‍යවරයා එම සාදයේ සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙම කොවිඩ් ආසාදිත වෛද්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුව ඔවුන්ව නිරෝධායනය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස කැලණිය සහ අවිස්සාවේල්ල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල වෙත දැනුම් දී ඇත.

ඒ  අනුව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාලයෙන් සිදුකළ දැනුම් දීමක් අනුව කැලණිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ගේ නිවසට ගොස් ඇති බවත් එම අවස්ථාවේදී වෛද්‍යවරයා හෝ පවුලේ කිසිවෙකුත් නිවසේ සිට නොමැති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

ඒ අනුව අද දිනයේදී කැලණිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම් දී ඇත්තේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පවුලේ සාමාජිකයින් කොළඹින් බැහැර ප්‍රදේශයකට ගොස් ඇති බවත් ඔවුන් අද සවස යලි නිවසට පැමිනෙන් බවට දැනුම් දී ඇති බවයි. තමන්ගේ නිවසේ සාදයට පැමිණි වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඒ වන විටත් වෛද්‍ය පාදෙණිය දැනුවත්ව නොසිට ඇති බවයි එම නිලධාරීන්ට දැනුම් දී ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නිවසට පැමිණීමෙන් පසු අවශ්‍ය කටයුතු කිරීමට ඔහුගේ නිවස වෙත යාමට සුදානම් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම් දී සිටියත් අද සවස්වරුව වෙන තෙක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හෝ පවුලේ සාමාජිකයින් නිවසට පැමිණි බවට දැනුම් දීමක් සිදුකර නොමැති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.