Thursday, April 25, 2024

General line - 0115112241

නිරෝධායන උපදෙස් කඩ කරමින් චිත්‍රපටයක් නැරඹීමට පැමිණි තරුණයින් පිරිසක් පොලිසියෙන් හරවා යවයි

රංජිත් රාජපක්‍ෂ / ලලිත් චාමින්ද / නිහාල්සිරි ගම්ලත්




හැටන් ප‍්‍රදේශයේ සිනමා ශාලාවක් ඉදිරිපිට නිරෝධායන රීති කඩකරමින් රැස්ව සිටි තරුණයන් පිරිසක් පොලිස් නිලධාරීන් විසින් යළි අද නිවෙස් වෙත පිටත් කර හැරියා. අදට යෙදුණු තෛපොංගල් දිනයේදී හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක දමිල චිත‍්‍රපටයක් තිරගත කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් මෙලෙස එම සිනමා ශාලාව ඉදිරිපිටට රැස්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් එම සිනමා ශාලාවේ හිමිකරු එලෙස චිත‍්‍රපටයක් තිරගත කිරීමට පියවර ගෙන නොතිබූ අතර අනතුරුව සිනමා ශාලාව අසලට රැස්වූ වතුකරයේ තරුණ පිරිස මෙලෙස නිවෙස් කරා පිටත් කර හැරීමට පොලීසිය පියවර ගත්තා.

මේ අතර හිනිදුම, තවලම සතිපොළේ වෙළදුන් සහ පාරිභෝගිකයින් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි අද තහවුරු කළා. ඔවුන් අකුරැුස්ස, නෙළුව තවලම, තිහගොඩ ආදී ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඊයේ දිනයේ තවලම සතිපොළේ වෙළඳුන් සහ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි වෙළදුන් සහ පාරිභෝගිකයින් 88 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කෙරුණු අතර ඉන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වුණේ.

මේ අතර හංවැල්ල, හරස් පාර ප‍්‍රදේශයේ මනාලියන් හැඩගැන්වීමේ ස්ථානයක් පවත්වාගෙන කාන්තාවකට සහ ඇගේ  දියණියට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ‍්‍රිත පවුල් හතක් ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති අතර ඉකුත් 2 වනදා සිට එම ආයතනයෙන් සේවා ලබාගත් අය සිටීනම් සිය ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරිවරයා දැනුවත් කරන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කළේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 480 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,747 ක්. ආසාදිතයින් 6,715 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ.

මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 354 දෙනෙකු හදුනාගත් බව  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළා.