Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ කොටස් වෙළෙදපල ලැබූ ඉතිහාසගත වාර්තාව ගැන සතුටු වනවා - රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කියයි




කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් අලුත් කරමින් තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම ගනුදෙනු ප්‍රමාණය ඊයේ වාර්තා වුණා. ඊයේ දිනය තුළ දී වාර්තා වී තිබුණු සමස්ත ගනුදෙනු ප්‍රමාණය 51,862 ක් වන අතර කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ ගනුදෙනු ප්‍රමාණය 50,000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වනවා.

මීට පෙර තනි දිනක් තුළ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා වී තිබුණේ 2011 අගොස්තු 18 වන දිනයි. එදින සිදුකෙරී තිබෙන ගනුදෙනු සංඛ්‍යාව 49,921 ක් බව වාර්තා පෙන්වා දෙන්නේ.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කලේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ආයෝජකයින් දක්වන විශ්වාසය සම්බන්ධයෙන් තමන් නිහතමානී වන බවයි. 

Bloomberg ආයතනය සඳහන් කරන පරිදි කොළඹ කොටස් හුවමාරුව ලොව හොඳම කාර්යසාධනය සහිත 2 වන කොටස් වෙළඳපොල බවට පත්ව ඇති බවත්, තමන් ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය පසුගිය අගෝස්තු මස 12 වෙනිදා පත්වීමෙන් පසු කෙටි කලක් තුල මෙරට කොටස් වෙළෙදපළ ලබාගත් සාර්ථකත්වය සම්බන්ධයෙන් නිහතමානී වන බවයි ප්‍රකාශ කර සිටියේ.

මේ අතර 2021 වසරේ තනි දිනක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ් ඉහළම වර්ධනය සනිටුහන් කරමින් ඊයේ දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 160.99 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරනු ලැබුවා.  ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,443.23 ක් ලෙසින් වාර්තා වූ අතර පූර්ව දිනයට සාපේක්ෂව එය 2.21% ක ඉහළ යාමක් ලෙසයි දැක්වෙන්නේ. 

සියලු කොටස් මිල දර්ශකයේ අද දින මෙම අගය 2015 අගෝස්තු 21 දිනෙන් පසු වාර්තා වූ ඉහළම අගය මෙය වනවා.