Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය තිබු වුහාන් විද්‍යාගාරය ගැන පරීක්ෂණ කරන්න : මෙතෙක් හෙළි නොකළ බුද්ධි තොරතුරු රැසක් සමග අමෙරිකානු රාජ්‍ය ලේකම් WHO විශේෂ විමර්ශන කණ්ඩායමෙන් ඉල්ලයි 




COVID-19 වෛරසය අහම්බෙන් චීනයේ, වුහාන් නගරයේ පිහිටි විද්‍යාගාරයකින් අත්වැරදීමකින් පිටවුවාක් ද යන්න සම්බන්ධයෙන් ඇති හැකියාව පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ තම බුද්ධි අංශ වෙත ලද තොරතුරු මත පදනම්ව බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරස ව්‍යාප්තියේ ආරම්භය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායමක් චීනයේ, වුහාන් වෙත පැමිණ දිනක් ගතවන අවස්ථාවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ චීන බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂකයින්ට විද්‍යාගාරය පිළිබඳව විමර්ශනය කිරීමට ඉඩ නොලැබෙන බවයි.

මෙම මාරාන්තික වෛරසයෙන් වගේම ඉදිරියේදී ඇතිවිය හැකි මීළඟ වෛරසයෙන් ලෝකය ආරක්ෂා කර ගැනීමට විද්‍යාඥයින්ට අත්‍යවශ්‍ය තොරතුරු රඳවා තබා ගැනීම සඳහා බීජිං පාලනය අදටත් අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා චෝදනා කර සිටින අතර වසංගතයේ මූලාරම්භය තුළ වුහාන් හි පිහිටි වෛරස් විද්‍යා ආයතනය සම්බන්ධයෙන් මේ දක්වා නිකුත් නොවූ නවතම බුද්ධි තොරතුරු කිහිපයක් ද ඔහු විසින් මෙහිදී හෙළිදරව් කරනු ලැබුවා.

වුහාන් හි පිහිටි වෛරස් විද්‍යා ආයතනය චීනයේ හමුදාවට සම්බන්ධ බවත් එහි සේවය කරනු ලබන සේවකයින් කිහිපදෙනෙකු 2019 වසර අග භාගයේදී කොවිඩ් රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ සහිතව රෝහල් ගතවූ බවට අමෙරිකානු බුද්ධි තොරතුරු වලට අනාවරණය වූ බවත්  වවුලන්ගෙන් ඇතිවන බවට හෙළිවූ වෛරසයට සියයට 96.2ක සමාන ප්‍රතිශතයක් මෙම ආසාදිතයින් ගෙන් වාර්තා වූ බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ.

කොරෝනා වෛරසය මනුෂ්‍යයින් විසින් නිපදවු වෛරසයක් බවට හෙළිකර ගත හැකි සාධනීය සාක්ෂි නොමැති බවට විද්‍යාඥයින් පුන පුනා ප්‍රකාශ කර සිටින අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එවැනි චෝදනාවක් එල්ල නොකරනු ලබන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔහු සඳහන් කරන පරිදි මෙම වෛරසය ස්වභාවිකව ඇතිවුවක් බවත් වුහාන් විද්‍යාගාරයේ දී ඇතිවූ අතපසු වීමක් හේතුවෙන් එහි ව්‍යාප්තිය ආරම්භ වූ බවට ඔහු ප්‍රකාශ කර සිටියි. එමෙන්ම වුහාන් හි පිහිටි මෙම විද්‍යාගාරයේ සේවයේ නියුතු පුද්ගලයෙකු වෛරසයේ ව්‍යාප්තිය ප්‍රබල වශයෙන් වාර්තා වීමට මාස දෙකකට පෙර රෝගාතුරවී රෝහල් ගත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි මයික් පොම්පියෝ සඳහන් කර සිටියේ.

එම විද්‍යාගාරයේ ප්‍රධානියා මිට පෙර ප්‍රකාශ කර සිටියේ තම විද්‍යාගාරයේ කිසිදු සේවකයෙකු වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකර ඇති ප්‍රකාශය සමග මෙම සිද්ධිය හා සැසදීමේදී සැකයට තුඩුදෙන බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර සිටින්නේ.

වුහාන් විද්‍යාගාරයේ විද්‍යාඥයින් විසින් 2016 වර්ෂයේ සිට වවුලන්ගෙන් ඇතිවන  RaTG13 නම් වෛරසය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටිය බවට බුද්ධි තොරතුරු ඇතිබවයි අමෙරිකානු විද්‍යාඥයින් පවසන්නේ.