Friday, April 26, 2024

General line - 0115112241

සම්ප‍්‍රදාය බිදිමින් වොෂිංටනය හැරයාමට ට‍්‍රම්ප් සැරසෙයි




සිය ධූර කාලය නිමා කරමින් වොෂිංටන් අගනුවර හැර යාමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සූදානම් වනවා. ඒ අනුව නව ජනාධිපති ජෝ බයිඞ්න් සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇති එලඹෙන බදාදා උදෑසන ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරයෙන් නික්මෙනු ඇති. සම්ප‍්‍රදායට අනුව අමෙරිකාවේ නව ජනාදිපතිවරයා සිය ධූරයේ දිවුරුම් දෙන උත්සව අවස්තාවට ධුරයෙන් නික්ම යන ජනාධිපතිවරයා සහභාගී වනවා. 

එහෙත් ජෝ බයිඞ්න්ගේ දිවුරුම් දීමේ උත්සවයට ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.1896 වසරින් පසුව අමෙරිකානු නව ජනාධිපතිවරයෙකු දිවුරුම් දීමේ උත්සවයට ධූරයෙන් නික්ම යන ජනාධිපතිවරයා සහභාගී නොවන පළමු අවස්ථාව එය වනු ඇති.

එසේම ධවල මන්දිරයට පැමිණෙන ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ජෝ බයිඞ්න් හට මෙතෙක් ආරාධනයක් ද සිදු කර නොමැති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු ධවල මන්දිරයට පැමිණෙන ජෝ බයිඞ්න් පිලිගැනීමට ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් එහි රැුදී නොසිටින බවද සඳහන්.  ඒ අනුව 1896 න් පසුව ධූරයෙන් නික්මෙන ජනාධිපතිවරයෙකු, අභිනවයෙන් පත්වූ ජනාධිපතිවරයෙකුට නිල වශයෙන් පිලිගැනීමේ උත්සවයක් නොපවත්වන පළමු අවස්තාව ද මෙය වනු ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

කෙසේවෙතත් ධූරයෙන් නික්ම යන ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට සමුදීමේ නිල උත්සවයක් වොෂිංටනයේදි පැවැත්වෙනු ඇති. එහිදී රතු පලසක් මතින් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අගනුවරින් නික්ම යාමට නියමිතයි.

ලබන 20 වනදා පැවැත්වෙන ජෝ බයිඞ්න් දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහභාගී නොවුනත් උප ජනාධිපති මයික් පෙන්ස් ඊට සහභාගී වනු ඇති. මේ අතර උප ජනාධිපති මයික් පෙන්ස් ඉකුත්දා අමෙරිකාවේ නව උප ජනාධිපති කමලා හැරිස් මුණ ගැසී තිබෙනවා. ට‍්‍රම්ප් පරිපාලනයේ ඉහළ පෙලේ නිලධාරියෙකු හා ජෝ බයිඞ්න් පාර්ශවයේ ඉහළ නිලධාරියෙකු අතර සුහද හමුවක් පැවැති පළමු අවස්ථාවද එය බවයි වාර්තා වන්නේ.