Wednesday, April 24, 2024

General line - 0115112241

අමෙරිකාවේ සියලූ ප‍්‍රාන්තවල හමුදාව සීරුවෙන් තබයි




අමෙරිකාවේ ප‍්‍රාන්ත පනහේම ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ අනුව ප‍්‍රාන්ත සියල්ලේම ආරක්ෂාවට හමුදාව යොදවා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. එළඹෙන 20 වනදාට යෙදී ඇති අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඞ්න්ගේ දිව්රුම් දීමේ උත්සවයට සමගාමීව රටපුරා විරෝධතා හා කලහකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවට FBI නිලධාරීන් අනතුරු අගවා තිබෙනවා. ඒ අනුවයි අමෙරිකාව පුරා මෙලෙස ආරක්ෂාව තර කර ඇත්තේ. 

ඉකුත් 06 වනදාද, ට‍්‍රම්ප් පාක්ෂිකයින් විසින් වොෂිංටන් අගනුවර පුරා විරෝධතා දියත් කළ අතර එහිදී හටගත් කලහකාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගියේ අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් ද එක් කරමින්. එබැවින් එවැනි තත්ත්වයක් යළිත් ඇතිවීම වළක්වා ගැනීමටයි මෙලෙස අගනුවර ප‍්‍රධාන සියලූ ප‍්‍රාන්තවල ආරක්ෂාව තර කර ඇත්තේ. 

අමෙරිකාවේ සියලූ ප‍්‍රාන්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් ද දැඩි අවධානයෙන් පසුවනවා. මේරි ලෑන්ඞ්, නිව් මෙක්සිකෝ හා යූටා යන ප‍්‍රාන්තවලට මේවනවිටත් හදිසි තත්ත්වයක් පනවා තිබෙනවා. එළඹෙන 20 වනදා මහජනතාව වොෂිංටන් අගනුවරට රැස්වීම හා අනෙකුත් ප‍්‍රාන්තවල ප‍්‍රධාන නගරවලට ඒකරාශීවීම සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන්.