Friday, March 29, 2024

General line - 0115112241

චීන කම්කරුවන් 12 ක් දින 10 ක්, අඩි 2000 ක පතලක සිරවෙයි




චීනයේ, ෂැංඩොන් හි පිහිටි රත‍්‍රං පතලක් කඩා වැටීමෙන් දින 10 ක් පුරා එම පතල තුළ සිරවී සිටින කම්කරුවන් 12 දෙනෙකු මුදා ගැනීම සඳහා සහන සේවකයින් ප‍්‍රබල මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ, සිරවී සිටින කම්කරුවන් විසින් උදව් ඉල්ලා එවන ලද පති‍්‍රකාවකින් ඔවුන් තවදුරටත් පතල තුළ ජීවත්ව සිටින බවට තහවුරුවීමෙන් අනතරුවයි.

ඒ අනුව අදාළ පතල් කම්කරුවන් 12 දෙනා මුදා ගැනීම සඳහා මේවනවිට සහන සේවකයින් 300 ක් පමණ මෙහෙයුම්වල නිතර වී සිටිනවා. එහෙත්, රත‍්‍රං පතලට ඇතුළුවන ස්ථානයේ සිට මීටර් 240 ක් පමණ දුරින් වූ ස්ථානයක අඩි 1969 ක පමණ ගැඹූරු ස්ථානයක අදාළ පතල් කම්කරුවන් පිරිස සිරවී ඇති බවයි බලධාරීන් පවසන්නේ. ඒ හේතුවෙන් ඔවුන් මුදා ගැනීම අසීරු බව සහන සේවකයින් පවසනවා. 

කෙසේවෙතත්, කම්කරුවන් සිරවී සිටින ස්ථානය ආසන්නයෙන් සිදුරක් සෑදු සහන සේවකයින් කම්කරුවන් විසින් උදව් ඉල්ලා එවන ලද පති‍්‍රකාව සොයා ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. එම පති‍්‍රකාව මගින් අදාළ කම්කරුවන් පිරිස, පවසන්නේ තමන් අධික ලෙස වෙහෙසට පත්ව සිටින බවයි. වේදනා නාශක, ප‍්‍රතිජීවක වෙළුම් පටි සහ වෛද්‍ය සැපයුම් අවශ්‍ය බව ද එමගින් පවසා තිබෙනවා.හුස්ම ගැනීමේ අපහසුතා ඇති බවත්, පතල දුවිල්ලෙන් හා ජලයෙන් පිරී ඇති බවත් ඔවුන් පවසා තිබෙනවා. 

කම්කරුවන් සිරවී සිටින රත‍්‍රං පතල කඩා වැටී ඇත්තේ ඉකුත් ඉරිදායි. එහෙත්, එම අනතුර සිදුවී පැය 30 ක් පමණ ගතවන තුරු බලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වී නැහැ. සිරවී සිටින පතල් කම්කරුවන් 12 දෙනාට අමතරව තවත් කම්කරුවන් 10 දෙනෙකු එහි සිට ඇති අතර ඔවුන් පිළිබඳ මෙතෙක් කිසිඳු තොරතුරක් අනාවරණ වි නැහැ.