Thursday, March 28, 2024

General line - 0115112241

දින 07ක් ඉක්මවා මෙරට රැඳී සිටින සංචාරකයෙකු PCR පරීක්ෂණ 02ක් සිදුකළ යුතුයි : PCR පරීක්ෂණයක ගාස්තුව ඩොලර් 40ක් 

ටී.කේ.ජී.කපිල




වානිජ ගුවන් මෙහෙයුම් සදහා සංචාරක ගුවන් මගීන්ට හෙට දින සිට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ විවෘත කරන බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පිවිසීම සදහා නේවාසික පුරවැසියන්ට, ද්විත්ව පුරවැසියන්ට සහ විදේශීය සංචාරකයන්ට හෙට දින සිට බාධාවකින් තොරව අවසරය ලැබෙන බව සඳහන් කර සිටියා.

එහිදී සංචාරක ගුවන් මගීන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel යන වෙබ් අඩවියට පිවිස , ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමත, එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53 න් එකක් තෝරා ගත යුතු වේ.

ඉන්පසුව ඇමෙරිකානු ඩොලර් 40 ක මුදලක් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කිරීම සදහා රිසිට් පතක් ලබා ගත යුතුය .

එහිදී මෙම සංචාරකයා ශ්‍රී ලංකාවේ දින 01 - 06 අතර ගත කරන්නේ නම් එක් පී.සී.ආර්.පරීක්ෂණයක් ද , දින 07 කට වඩා වැඩි කාළයක් රැදී සිටින්නේ නම් තවත් පී.සී.ආර්.පරීක්ෂණයක් ද , එනම් පී.සී.ආර්.පරීක්ෂණ 02 ක් සිදු කළ යුතු වේ.

මෙරට දී සිදු කරනු ලබන එක් පී.සී.ආර්.පරීක්ෂණයක් සදහා ඇමෙරිකානු ඩොලර් 40 ක මුදලක් අය කරනු ලැබේ .

ඊට අමතරව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන් ඇමෙරිකානු ඩොලර් 12 ක් වැය කර කොවිඩ් රක්ෂණ ආවරණයක් ද ලබා ගත යුතුය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන සංචාරකයන් ගුවන් ප්‍රවේශ පත්‍රය, ශ්‍රී ලංකාවේ නවාතැන් ගැනීමට නියමිත හෝටලයේ විස්තර සහ වෙන් කරවා ගත් අංකය, ශ්‍රී ලංකාවේ දී සිදු කිරීමට අපේක්ෂා කරන පී.සී.ආර්.
පරීක්ෂණ සදහා මුදල් ගෙවූ රිසිට් පත සහ කොවිඩ් රක්ෂණ ආවරණය ලැබූ සහතිකය සමග ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාවක් ද  ඉදිරිපත් කළ යුතුය .

ඉන්පසුව සංචාරක වීසා ලබා ගැනීම සදහා www.eta.gov.lk යන වෙබ් අඩවියට පිවිස ඒ සදහා අයදුම් කළ යුතු වේ.

ඉන්පසුව සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම සිදු කළ හැකි අතර එසේ පැමිණෙන සියලුම ගුවන් මගීන්, ඔවුන්ගේ ගමන් මලු සියල්ල  ගුවන් පාළම් තුළ දී විශබීජ හරණය කිරීමට ලක් කෙරේ. එමෙන්ම පැමිණෙන සියලුම ගුවන් මගීන් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වේ.

ඉන්පසු මෙම ගුවන් මගීන් ගුවන් යානය තුළ දී ලබා දුන් සෞඛ්‍ය වාර්තා, ගුවන් තොටුපළ තුළ සූදානම් කර ඇති සෞඛ්‍ය කවුළු වෙත ලබා දිය යුතුය. කටුනායක ගුවන් තොටුපළ තුළ මෙවැනි සෞඛ්‍ය කවුළු 10 ක් සූදානම් කර ඇති අතර , මත්තල ගුවන් තොටුපළ තුළ එවැනි කවුළු 02 ක් සූදානම් කර ඇති බව ද සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර සඳහන් කර සිටියා.

එයින් පසු මෙම ගුවන් මගීන් ස්වයංක්‍රීය ශරීර උෂ්ණත්වමාපක ඔස්සේ ගමන් කළ යුතු අතර එහිදී යම් සංචාරකයෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් 37.5° වඩා වැඩි නම් එම සංචාරකයා වහාම ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කර ඊට අදාළ පියවර ගැනීමට නියමිතය.

ඉන්පසු මෙම සංචාරකයන් ආගමන  විගමන කළාපයට පිවිසෙන අතර එහිදී ඔවුන් තත්පර 30 - 40 ත් අතර කාළයක් තුළ නිදහස් කිරීමට සැළසුම් කර තිබේ.

එයින් පසු මෙසේ පැමිණෙන සංචාරකයන් ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට පිවිසීම සිදු කරයි. මෙම සාප්පු තුළ ගුවන් මගීන් වැඩි කාළයක් ගත කිරීමට සිදු වන බැවින් එම සාප්පු සංකීර්ණයේ සියලු සේවකයින් පූර්ණ ආරක්ෂිත ඇදුම් ඇද සිටීමට සූදානම් කර තිබේ.

එසේ භාණ්ඩ මිලදී ගත් ගුවන් මගීන් තම ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ භාර ගැනීම සදහා ස්වයංක්‍රීය භාණ්ඩ පැමිණීමේ ධාවක යන්ත්‍ර වෙත පිවිසිය යුතුය. එහිදී ගුවන් යානයෙන් රැගෙන පැමිණි එම ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ , එසේ අයිතිකරුවන්ට ලබා දීමට පෙර විෂබීජ හරණය කිරීමට ලක් කිරීම සිදු කරනු ලැබේ.

ඉන්පසුව මෙම සියලු ගමන් මලු සහ භාණ්ඩ ගුවන් තොටුපළ සහායකවරුන්ගේ සහායෙන් රේගු පරිශ්‍රය ඔස්සේ ගුවන් තොටුපළ පැමිණීමේ ආලින්දය වෙත රැගෙන එනු ලබයි.

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු පද්ධතියක් පිහිටා ඇති අතර ඒවායින් අවශ්‍ය මුදල් ගණුදෙනු සිදු කර ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් සහ විදේශීය සංචාරකයන් වෙනම හදුනා ගෙන ගුවන් තොටුපළෙන් පිට කිරීමේ කාර්යය ආරම්භ කරනු ලබයි.
එහිදී ශ්‍රී ලාංකිකයන් ජාතික කොවිඩ් මර්දන කාර්යය සාධන බළකාය මගින් සහ විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් වේ .

එම පියවරෙන් ගුවන් තොටුපළ වගකීම අවසන් වන බවයි සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර සඳහන් කළේ.

ගුවන් තොටුපළ තුළ දී සිදු වන සෑම ක්‍රියාවක්ම දුරස්ථභාවය රැක ගනිමින් සිදු කළ යුතු අතර විශබීජ නාශක දියර කටුනායක ගුවන් තොටුපළේ සියලු කළාප වලම තබා තිබේ. මීට අමතරව ගුවන් තොටුපළ සියලුම සේවකයින් මෙම ක්‍රියාවලිය පිළිබඳව පෙරහුරු පවත්වා විශේෂ පුහුණුවකට ලක් කර ඇති බවයි සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා පවසා සිටියේ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගුවන් තොටුපළ සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි කියා සිටියේ කටුනායක ගුවන් තොටුපළ මීට මාස 09 කට පෙර වසා දැමූ අවස්ථාව වනවිට දිනකට ගුවන් යානා 200 කින් සංචාරකයන් 28,000 ක් පමණ පැමිණ තිබූ බවත්, ගුවන් තොටුපළ නැවත මෙසේ විවෘත කිරීමෙන් පසු දිනකට සංචාරකයන් 2,500 කගේ පැමිණීම අපේක්ෂා කරන බවයි.

            
මෙසේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන් මගීන් සදහා විවෘත කිරීමෙන් පසුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පළමු සංචාරකයන් පිරිස රැගෙන මෙම මස 22 වෙනි දින අලුයම 2.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය පැමිණීමට නියමිතය.