Tuesday, April 23, 2024

General line - 0115112241

රුපියල් කෝටි දහසක් වටිනා මත්ද්‍රව්‍ය සමග ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට 




ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය "මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය" පවසනවා. ඉන්දියාවේ චෙන්නායි නුවර දී සිදුකළ වැටලීමකින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාව වන විට ඔවුන් සතුව තිබී රුපියල් කෝටි 1,000ක් වටින් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් ද සොයා ගෙන තිබෙනවා.

.M.M. නවාස් සහ මොහොමඩ් අෆ්නාස් ලෙස මෙම සැකකරුවන් හඳුනා ගෙන ඇති අතර ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට අනවර්ථ නම් දෙකක් භාවිත කරමින් ජාවාරම් කටයුතුවල නිරතව සිටි බවට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම සැකකරුවන් දෙදෙනාට පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, ඉරානය, ශ්‍රී ලංකාව. මාලදිවයින සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇති බවට ද කරුණු හෙළිවී ඇත.

ඉන්දීය මුහුද ඇතුළු ජාත්‍යන්තර මුහුදේ යාත්‍රාවලින් මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන ඒමේ ජාවාරමේ ප්‍රධාන හසුරුම් කරුවන් දෙදෙනෙකු ලෙස මොවුන් ක්‍රියාකර ඇත.

ඉකුත් නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් එක්ව සිදුකළ මෙහෙයුමකින්  බහුදින ධිවර යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 95ක් සහ අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18ක් සහ පිස්තෝල 05ක් සොයා ගනු ලැබූ අතර මෙම සිදුවීම අරඹයා සිදුකළ වැඩිදුර පරීක්ෂණයේදී ඉහත සඳහන් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.