Friday, April 26, 2024

General line - 0115112241

ශානි අබේසේකර වෙනුවෙන් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාර්තු මස 31 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද, දින නියම කළා. ඒ, එම පෙත්සම බුවනෙක අළුවිහාරේ ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවූ අද අවස්ථාවේදීයි.

විමර්ශන කටයුතු සදහා ශානි අබේසේකර රිමාන්ඞ් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන්නේ නම් ඔහුට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටයි එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.

මේ වන විට රිමාන්ඞ් භාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ නීතිඥ ගෞරි ෂන්ගරි තවරෂා නැමැති අයෙකු විසින්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 13 (1) වගන්තිය යටතේ තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝණය කර ඇති බවට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු ඉල්ලා සිටිනවා. එමෙන්ම ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය  කිරීම වෙනුවෙන් රුපියල්  මිලියන 3 ක වන්දියක් ගෙවන ලෙසයි පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.

2013 දී ව්‍යාපාරික මොහොමඞ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි ගොතන ලද බවට චෝදනා කරමින් ශානි අබේසේකරව කොළඹ අපරාධ කොට්ඨාසය  විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

පෙත්සම්කරු පවසන්නේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්තනෝමතික, අසාධාරණව හා ද්වේෂ සහගත ලෙස ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ඇති බවයි.