Thursday, April 25, 2024

General line - 0115112241

සිංහරාජයටත් බලපෑම් කරමින් තවත් හෝටල් සංකීර්ණයක්




සිංහරාජ රක්‍ෂිත වනාන්තරයට අයත් බව කියන අලිමංකඩක් අවහිර කර වනාන්තරය එළිපෙහෙළි කරමින් හෝටල් දෙකක් ඉදිකරමින් ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරනවා. සිංහරාජ වන රක්‍ෂිතයේ මොර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව, වලන්කන්ද වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ වෙසෙන වනඅලි ගමන් ගන්නා ප්‍රධාන අලිමංකඩ වන මානික්කවත්ත බෝවිටියතැන්න අලිමංකඩ අවහිර කරමින් මෙය ඉදිකරමින් ඇති බවයි පරිසර සංවිධාන චෝදනා කළේ.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර.

රක්‍ෂිත වනාන්තර තුළ මෙවැනි හෝටල් ඉදිකිරීම් තුළින් පරිසර පද්ධතියට සිදුවන බලපෑම පිළිබදවද මෙලෙස කරුණු පැහැදිලි කෙරුණා.

පරිසර සංවිධාන නගන මෙම චෝදනාව සම්බන්යෙන් නෙත් නිවුස් මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පළාත් අධ්‍යක්‍ෂ තිලක් කිරිඇල්ලගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ හෝටලය ඉදිකරන භූමිය රක්‍ෂිතයට අයත් නොවන බවත් මෙය ඉදිකෙරෙන්නේ කලවාන ප්‍රාදේශීය සභාවේද අවසරයක් ඇතිව බවයි.

මේ අතර විල්පත්තු පරිවාර රක්ෂිතයේ සිදුකළ වන විනාශයෙන් සිදුවූ හානිය රුපියල් මිලියන 1000 කට වැඩි බවට ඇස්තමේන්තු කර ඇතැයි වාර්තා වනවා. ඒ, අදාළ වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවට අනුවයි. ඒ අනුව නැවත වන වගාවක් සිදුකිරීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් රුපියල් මිලියන 1000 කට වැඩි මුදලක් ගෙවිය යුතු බවටයි අදාළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර ඇත්තේ.

මෙම වන විනාශය මගින් විල්පත්තු රක්ෂිත වනාන්තරයට උතුරින් පිහිටි කල්ආරු මරිච්චිකට්ටු, විලත්කුලම් රක්ෂිත වනාන්තරයේ අක්කර 2,388 ක ප්‍රදේශයකට හානා සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.