Tuesday, April 16, 2024

General line - 0115112241

විශිෂ්ඨ පන්දු රැකිමක් හමුවේ ජෝ රූට් ගේ ද්විත්ව ශතකය අහිමි වෙයි  




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 03 වන දිනය නිමාවන විට තරගය දෙපිළටම විවෘත තරගයක් බවට පත්ව තිබෙනවා. ඒ, එංගලන්ත ඉනිමේ කඩුළු 09 ක් ලකුණු 339 ක් තුළ බිඳවැටීමත් සමගයි.

ශ්‍රී ලංකා පිළ පළමු ඉනිමට ලකුණු 381 ක් රැස්කළා. ඒ අනුව එංගලන්තය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 42 ක් පිටුපසින් සිටිනවා. ශ්‍රී ලංකා දග පන්දු යවන්නන් හමුවේ එංගලන්ත පිතිකරුවන් දැඩි පීඩනයකට පත්වද්දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත නායක ජෝ රූට්, ලකුණු 186 ක් රැස්කළා. පිට පිටම තවත් ද්විත්ව ශතකයක් රැස්කර ගැනීමට තිබූ අවස්ථාව ඔහු අතින් ගිලිහී ගියේ දුවද්දී දැවීයාමත් සමගයි. ජොස් බට්ලර් ලකුණු 55 ක් රැස්කළා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 132 කට කඩුළු 07 ක් බිඳ හෙළුවා. එය ඔහු ඉනිමක කඩුළු 05 බැගින් දවාගත් 03 වන අවස්ථාව වන අතර ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම ද වනවා. මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගත්තා. 

ශ්‍රී ලංකා ඉනිමේ සියලු කඩුළු එංගලන්ත වේග පන්දු යවන්නන් විසින් දවාගත්ත ද, එංගලන්ත ඉනිමේ බිඳ වැටුණු කඩුළු 08 දවා ගත්තේ ශ්‍රී ලංකා දග පන්දු යවන්නන් වීම විශේෂත්වයක්.