Thursday, March 28, 2024

General line - 0115112241

සමගි ජනබලවේගයේ සභාපති ෆොන්සේකා - චම්පික හිස් අතින් යයි




සමගි ජනබලවේගයේ නිලධාරී මණ්ඩලය අද පත් කෙරුණා. ඒ, අද ප්‍රථම වරට රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දරණ අතර මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරයි. 

සමගි ජනබලවේගයේ සභාපතිධූරය, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට හිමිව තිබීම විශේෂත්වයක් වනවා. සමගි ජනබලවේගයට ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 06 දෙනෙකු පත්කර තිබෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිටියාස් බාකීර් මාකර්, රවීන්ද්‍ර සමරවීර, රාජිත සේනාරත්න හා කුමාර වෙල්ගම එම 06 දෙනායි.

නව නිලධාරී මණ්ඩලයට උප සභාපතිවරුන් 08 දෙනෙකු ද අයත්. නියෝජ්‍ය ලේකම්වරුන් 04 දෙනෙකු, නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් තිදෙනෙකු ද පත් කර තිබෙනවා. සමගි ජනබලවේගයේ නිලධාරී මණ්ඩලයට අයත් නිලධාරීන් ගණන 31 ක්.

මේ අතර මෙම රැස්වීම අවසානයේ සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට සමගි ජනබලවේගයේ කිසිඳු තනතුරක් හිමි නොවීම විශේෂත්වයක් වනවා. ඉකුත් දා ජාතික හෙළ උරුමයේ සාමාජිකත්වයෙන් ඉවත් වූ ඔහු අද සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ලබාගත් බවට ද වාර්තා පළ වුණා. 

කෙසේවෙතත්, පසුව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ මීලග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සමගි ජනබලවේගය තුළ තමාගේ වගකීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද එකග වූ බවයි.