Thursday, April 25, 2024

General line - 0115112241

එංගලන්ත දඟ පන්දුවට ශ්‍රී ලංකාව පරාජය වෙයි




තම මවුරටේදීම පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක අමිහිරි අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැති ටෙස්ට් තරග 02 ම පරාජයට පත්වීමත් සමගයි. දින 04 ක් තුළ නිමාවූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය එංගලන්තය අද තහවුරු කර ගත්තේ කඩුළු 06 කින්. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 381 ක් ලබා ගෞරවනීය ලෙස ඉනිම නිමා කළ අතර එංගලන්තයට රැස්කර ගත හැකිවූයේ සිය පළමු ඉනිමට ලකුණු 344 ක් පමණයි. ඒ අනුව පළමු ඉනිමෙන් ලද ලකුණු 38 ක වාසිය ද සමග ශ්‍රී ලංකා පිළ අද සිය දෙවන ඉනිම ඇරඹුව ද සියලුදෙනා ලකුණු 126 කට දැවී ගියා.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකා සියලු පිතිකරුවන් එංගලන්ත වේග පන්දු යවන්නන්ට දැවී ගිය ද, දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා සියලු පිතිකරුවන් දැවී ගියේ එංගලන්ත දග පන්දු යවන්නන් හමුවේයි. එංගලන්ත දග පන්දුවේ පීඩනය හමුවේ වේගයෙන් ලකුණු රැස්කිරීමට උත්සහ දැරීම ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වුණා.

පන්දුවෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදුන් ලසිත් ඇඹුල්දෙණිය, ශ්‍රී ලංකා දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දසවැනි පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 40 ක් රැස්කර ගනිමින්. 

ශ්‍රී ලංකා පිතිකරුවන්ට අසීරු වූ තණතීරුව තුළ ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ට පහසුවෙන් මුහුණ දෙමින් එංගලන්තය කඩුළු 06 කින් තරගය ජය ගත්තා.