Friday, March 29, 2024

General line - 0115112241

දිනක් තුල සෞඛ්‍ය සේවකයින් හරි අඩක් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි




ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලැබීමෙන් පසූ එක් දිනක් තුල සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 50ක් එන්නත් කර අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත් පවසනවා. ඔහු කියා සිටියේ එක් මධ්‍යස්ථානයකින් පැයකට පුද්ගලයින් 15ත් 20ත් අතර පිරිසක් එන්නත් කල හැකි වනු ඇති බවයි.

මෙරටට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රා තොගය ලබා දෙන පළමු කණ්ඩායම නිවැරදිව හඳුනාගැනීමේ කටයුතු ද මේවන විට සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත් කියා සිටියේ එන්නත් කරන පළමු කණ්ඩායම ලැයිස්තු ගත කිරීම මේ වන විට සිදු කරන බවයි. 

පළමු අදියර යටතේ එන්නත් ලබා දීමට නියමිතව ඇත්තේ මෙරට කොරෝනා මර්ධන වැඩසටහනේ ඉදිරි පෙල කණ්ඩායමටයි. ඒ, රෝගීන් හෝ රෝගීන් යැයි සැකකරන පුද්ගලයින් සමඟ සෘජුවම ගැටෙන කණ්ඩායමයි. ඒ අනුව සෞඛ්‍ය සේවකයින් හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට එහිදී ප්‍රමුඛතාව හිමිවනු ඇති. එමෙන්ම ගුවන් තොටුපල, වරාය, සුව සැරිය කාර්ය මණ්ඩලය, විදේශිකයින් සමඟ ගැටෙන පිරිස් සහ ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන වල රාජකාරී කරන කාර්ය මණ්ඩලයට ද මෙහිදී එන්නත් ලබා දීමට නියමිතයි. 

අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ටද එන්නත්කරණ පළමු අදියරේදී ප්‍රමුඛතාවක් හිමිවනු ඇති. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත් කියා සිටියේ සෙසු පිරිසට එන්නත් කිරීම ආරම්භ කිරීමට සිදුවන්නේ මීළඟ එන්නත් තොගය මෙරටට ලැබීමෙන් පසුව බවයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු එන්නත් තොගය හෙට දිනයේදී බොහෝ දුරට ලැබෙනු ඇති බවටයි ආණ්ඩුව විශ්වාසය පල කරන්නේ. ඒ අනුව එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට ඇති සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් ඊයේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කලා. අනිද්දා දින සිටම එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමටයි මේ වන විටත් සැලසුම් කර ඇත්තේ.

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා - සෙනෙකා එන්නත් සඳහා මේ වනවිටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඉන්දියාවේ ප්‍රධානයක් ලෙසයි. ඒ අනුව එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් මෙරටට ලැබෙනු ඇති. 
අවුරුදු 18ට වැඩි කණ්ඩායම එන්තත් ලබා ගැනීමට සුදුසුකම් ලබන පිරිසයි. ඒ අනුව මෙරට ජනගහණයෙන් වයස අවුරුදු 18ට වැඩි පිරිස සමස්ත ජනගහනය තුනෙන් දෙකකට ආසන්නයි. 

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත සඳහාද රජය මේ වන විටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා. එමෙන්ම චීනයේ සිනෝෆාම් එන්නත ද මෙරටට ලබාගැනීම සඳහා මේවනවිටත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.