Saturday, April 20, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර පුවතකට ක්‍රිකට් සභාපතිගෙන් පිළිතුරු




ක්‍රිකට් වර්ජනයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේචන ඉදිරියේදීත් පැවතුනහොත් තරග වර්ජනය කිරීමක නිරත වන බවට තමන් කිසි විටෙක ප්‍රකාශ කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. 

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව වන විවේචන ඉදිරියටත් පැවැතිය හොත් තරග වර්ජනය කිරීමක නිරත වීමට සූදානම් වන බවට ක්‍රිකට් සභාපතිවරයා කළ බව කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් එවැනි ආකාරයේ වගකීම් විරහිත ප්‍රකාශයක් තමන් කිසි විටෙකත් සිදු නොකළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ජයග්‍රහණය වගේම පරාජයත් එක සේ දරා ගැනීමට ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රිකට් ආයතන නිලධාරින්ටත් ශක්තිය තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ. 

ක්‍රිකට් වලට ආදරය කරන හැම දෙනාම මේ මොහොතේ සිටින්නේ කණගාටුවෙන්. මෙම තත්වයන්ට අප පිළිතුරු ලබා දිය යුත්තේ ප්‍රකාශ හරහා නොව කණ්ඩායමක් ලෙස ජයග්‍රාහි මාවතට අවතීර්ණවීමෙන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සදහන් කළේ. 

ඒ සඳහා ක්‍රිකට් පරිපාලනය පැත්තෙන් ගත හැකි සෑම උත්සාහක්ම ගන්නා බවද ඔහු සදහන් කළා. ක්‍රිකට් සම්බන්ධව පළ වන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රකාශ  පිළිනොගන්නා ලෙසයි ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් මෙහිදී ඉල්ලා සිටියේ.