Saturday, April 20, 2024

General line - 0115112241

නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු සොයා බලන තෙක් හෝ රටේ සංචරණ සීමා පනවන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බලධාරීන්ගෙන් ඉල්ලයි 

ජූඩ් සමන්ත




නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ හැසිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඒ සම්බන්ධයෙන් නිසි තාක්ෂණික ඇගයීමක් සිදුකරන තෙක් හෝ රට යම්තාක් දුරකට අගුළු දැමීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

විශේෂයෙන්ම රට තුල රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවල මෙන්ම කර්මාන්තශාලා සහ වැඩබිම් වලත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම වැඩිවී  තිබෙනවා. දැනට පවතින තත්ත්වය අනුව දැඩි සංචරණ සීමා පනවා කටයුතු නොකළහොත් නව කොවිඩ් ප්‍රභේදයත් සමගම ඉදිරියේදී මෙම වෛරසය වේගයෙන් රට තුල ව්‍යාප්ත වුවහොත් ඉදිරියේදී රට සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය වීමේ ඉඩක් පවතින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

"දැනට රටේ පළාත් 09 තුල දිස්ත්‍රික්ක 25 තුලදීම කොවිඩ් ව්‍යාප්තිය සිදුවෙමින් පවතිනවා. දින කිහිපයක් පුරාවට බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වීම වැඩිවෙමින් තිබෙනවා. ඊට අමතරව කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම වැඩිවෙනවා. 

මිට දින දෙකකට ඉහතදී කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් තහවුරු කර සිටියා බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ 04කින් වාර්තා වුනු බවට. මෙම වෛරස් ප්‍රභේදයට හැකි වුනා දින 15ක් වගේ කෙටි කාලයක් තුල බ්‍රිතාන්‍යයේ විශාල පෙරලියක් කරන්න. ඒ වගේම ඉන්දියාවේ ජනගහණයට සාපේක්ෂව මෙම වෛරසයට විශාල ව්‍යාප්තියක් පෙන්නුම් කරන්න හැකියාවක් ලැබුනේ නැහැ. නමුත් ලංකාව තුල මෙම වෛරසයේ හැසිරීම සම්බන්ධයෙන් තාක්ෂණික විශේෂඥයින් පැහැදිලි කර කියා නැති නිසා අපට දැන්ම කිසිදු දෙයක් කීමට හැකියාවක් නැහැ.

ඒ වගේම මෙම වෛරස ප්‍රභේදය ප්‍රදේශ 04කින් වාර්තා වූ බවට සඳහන් කලත් දිවයිනේ අනෙක් ප්‍රදේශවලින් මෙම වෛරස් ප්‍රභේදය වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා. නමුත් පසුගිය දින කිහිපය ගත්තම ආසාදිතයින් ගේ වාර්තා වීම සීඝ්‍ර වශයෙන් ඉහල ගොස් තිබෙනවා. කොවිඩ් 19 තීරණාත්මක අවස්ථාවක අප පැමිණ තිබෙන බවට ප්‍රතිපත්ති තීරකයින් මෙන්ම බලධාරීන් දැන ගත යුතු කරුණක් බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කර සිටින්නේ.

මෙම නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් ඉක්මන් තීරණ ගැනීම සිදුකරන බවට පසුගිය කාල සීමාවේදී අපිට දකින්නට ලැබුණා. විශේෂයෙන් ආසාදිතයින් 20 කට අඩු සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රදේශ පවා සම්පුර්ණයෙන්ම හුදෙකලා කරන තැනට පත්වුවා. ඒ හරහා ඔවුන් වෛරසය පාලනය කිරීමට සම්ත්වුවා. එය හොද උදාහරණයක් යැයි" මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියා.

කොවිඩ් මර්ධන ක්‍රියාවලියේ දී බිම් මට්ටමේ කාර්ය භාරය ඉටුකරනු ලබන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පසුගිය කාල සීමාවේදී සිය සංගමය විසින් අවස්ථා තුනකදී සිදුකළ දැනුවත් කිරීම් බලධාරීන් විසින් අවධානය යොමු නොකල බවද මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී සිහිපත් කර සිටියා.

මෙරටට ගුවන් තොටුපොළට පැමිණෙන විදේශ ගුවන් යානා කාර්ය මණ්ඩල මගින් කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇතිවිය හැකි බවට පළමුව දැනුම් දී සිටියද ඒ සම්බන්ධයෙන් බලධාරින් නිසි පියවර නොගත් බව පැවසූ ඔහු ගම්පහ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් කොවිඩ් දෙවන රැල්ල ව්‍යාප්තිය ඇරඹීමත් සමග බස්නාහිර පලාතට සංචරණ සීමා පනවන ලෙසට ඉල්ලා සිටියත් එයද ඉටු නොවූ බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම පසුගිය දෙසැම්බර් අවසන් සතිය ඉලක්ක කර ගනිමින් බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය වීම සිමා කරන ලෙස ඉල්ලා සිටියත් එය ඉටු කලේ නැහැ. අවසානයේදීබස්නාහිර පළාත් කේන්ද්‍ර වෙලා තිබු කොවිඩ් ව්‍යාප්තිය අද වන විට රටේ සෙසු දිස්ත්‍රික්වලටත් ව්‍යාප්ත වී තිබීමෙන් අප කියන දේ ගැන අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටියේ.

මේ නව ප්‍රභේදය වාර්තා වීමත් සමග තාක්ෂණික වශයෙන් කරුණු සලකලා බලලා ඉදිරියේදී රට යම්තාක් දුරට වසා තබලා කටයුතු කලේ නැත්නම් ඉදිරියේදී එහි ප්‍රථිපලය ජනතාවට විදීමට සිදුවන්න වේවි, ඔහු ප්‍රකාශ කර සිටියා.

රට යලි විවෘත කිරීමේදී ඇතිවූ යම් යම් කරුණු නිසා ජනතාව රටේ කොවිඩ් ව්‍යාප්තියක් නොමැති බවට සිතා කටයුතු කරන තැනට පැමිණ ඇති බවත් ඇතැම් දේශපාලඥයින් විසින් පවත්වනු ලබන උත්සව හේතුවෙන් ජනතාවද උත්සව සංවිධානය කරන තැනට පත්වී ඇති බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියා.

මේ වන විට නිකුත්වන PCR වාර්තාවල ප්‍රථිපල දින 05ක පමණ ප්‍රමාදයෙන් යුත් ඒවා බව පැවසූ උපුල් රෝහණ සභාපතිවරයා බිම් මට්ටමේ ඇති තත්ත්වය හාත්පසින්ම වෙනස් බවද සඳහන් කළා.

කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන චක්‍ර ලේඛ අසාර්ථක බව පැවසූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා බිම් මට්ටමේ කොවිඩ් ව්‍යාප්තියේ සත්‍ය කරුණු දන්නා සහ ඒ සම්බන්ධයෙන් කාර්ය භාරයක් ඉටුකරනු ලබන තම සංවිධානයේ කිසිදු නිලධාරියෙකුට කොවිඩ් මර්ධන කමිටුවේ සාකච්ජා සඳහා කැඳවා නොමැති බවද ප්‍රකාශ කර සිටියා.