Tuesday, April 16, 2024

General line - 0115112241

කුරුළු උණ, මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වීමේ පළමු සිදුවීම රුසියාවෙන් වාර්තා වෙයි




ලොව පළමු වරට කුරුළු උණ මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිය විද්‍යාඥයින් කරුණු අනාවරණය කර ගත් බව රුසියාව අද නිවේදනය කර සිටියා.

H5N8 ලෙස සැලකෙන කුරුළු උණ වෛරස ප්‍රභේදය කුරුල්ලන් ගෙන් මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වීමේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කිරිමට පියවර ගත් බවයි රුසියාවේ සෞඛ්‍ය නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානි අනා පොපොවා ප්‍රකාශ කර සිටියේ.

පක්ෂින් අතර දරුණු ලෙස ව්‍යාප්ත වන මෙම වෛරසය මින් පෙර මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වන බවට වාර්තා වී තිබුනේ නැහැ.

දකුණු දිග රුසියාවේ ගොවිපොලක පසුගිය දෙසැම්බර් මාසයේදී කුරුළු උණ රෝගය පැතිරී යාමේ සිදුවීමක් වාර්තා වීමෙන් පසු එහි සේවය කරනු ලබන සේවකයින් 07 දෙනෙකු ගේ සාම්පල් ඇසුරෙන් සිදුකළ ජානමය පරීක්ෂණයකින් පසු එලෙස කුරුළු උණ මනුෂයින්ට සම්ප්‍රේෂණය වී ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සේවකයින්ට බරපතල සෞඛ්‍ය ගැටළු කිසිවක් ඇතිවී නොමැති බවත් ඉදිරියේ දී මෙම වෛරසය විකෘති ප්‍රභේදයක් බවට පත්වීමේ හැකියාවක් ඇත් ද යන්න කිව හැක්කේ කාලයට පමණක් බැවින් එය අධ්‍යයනය කළ යුතු බවයි රුසියාවේ සෞඛ්‍ය නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානි අනා පොපොවා ප්‍රකාශ කර සිටියේ.

මෙම වෛරසයට මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බව මේ දක්වා පෙනී යන්නේ නැහැ. නමුත් එවැනි තත්ත්වයක් ඉදිරියේ දී ඇතිවේද යන්න ගැන අප අවධානයෙන් සිටිම සහ අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට හැකි කාලයක් තිබීම වටිනවා, යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.